Home Coronavirus 2020 ”අඛණ්ඩව තවත් සති දෙකක් සංචරණ සීමා දීර්ඝ කරන්න” – ශ්‍රී ලංකා වෛද්‍ය...

”අඛණ්ඩව තවත් සති දෙකක් සංචරණ සීමා දීර්ඝ කරන්න” – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපතිට කියයි

426

කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය පාලනයට දැනට පනවා ඇති සංචරණ සීමා ජූනි මස 14 වන දා සිට අවම වශයෙන් අඛණ්ඩව තවත් සති දෙකක කාලයක් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, සති තුනකට ආසන්න කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම හේතුවෙන් නව ආසාදිතයින් වාර්තාවීම තවමත් ඉහළ මට්ටමක පැවතිය ද එය තරමක් ස්ථාවර මට්ටමක පවතින බවය.

සංචරණ සීමා ක්‍රියාත්මක වූ කාලයේ ප්‍රතිඵල ලබා ගැනීමට තවත් සති දෙකක් හෝ තුනක කාලයක් ගත වනු ඇතැයි ඔවුන් සිය ලිපියේ සඳහන් කර ඇත.

තවමත් කොරෝනා ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තාවීමට හේතුව සංචරණ සීමා පැනවීමට ප්‍රථම වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් හමුවුණු නිසා බව ඔවුන් සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ. ඒ හේතුවෙන් ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් දැකීමට දීර්ඝ කාලයක් ගතවනු ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය ලිපිය මගින් තවදුරටත් පෙන්වා දෙන්නේ, පනවා ඇති සංචරණ සීමා තදින් ක්‍රියාත්මක නොවී ඇති බවය. ඇතැම් කර්මාන්තශාලා ක්‍රියාත්මක වීම සහ කාර්යාලවල රාජකාරි කටයුතු සිදුවීම ආදිය ද හේතුවෙන් සංචරණ සීමාවල ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රමාද කරනු ඇතැයි ඔවුන් සිය ලිපියේ සඳහන් කර තිබේ.

ඒ අනුව, කොවිඩ්-19 වසංගතයෙන් ජනතාව සහ රට ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිර්දේශ 6ක් පෙන්වා දී තිබේ.

එම සංගමය සඳහන් කරන්නේ, නිවසකින් පිටව යන පුද්ගලයින් අවම කරමින් සංචරණ සීමා ඉතා තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ විවෘතව ඇති ආයතන ආශ්‍රිතව පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම ඉහළ නැංවිය යුතු බවත් ය.

එමෙන් ම, කොරෝනාවෛරසය බහුල ව්‍යාප්තියක් සහිත රටවල් සහ මාරාන්තික, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත නව කොරෝනාවෛරස ප්‍රභේද හඳුනාගෙන ඇති රටවල්වලින් සංචාරකයින් ගෙන්වීමට අවසර ලබා නොදිය යුතු බව ද එම සංගමය පෙන්වා දී ඇත.

තව ද සමාජය තුළ කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා අහඹු ලෙස සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here