Home Hit ප්‍රාථමික අංශයේ සිටම ඉංශ්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ තීරණයට ගුරු සංගම් කිහිපයක විරෝධය

ප්‍රාථමික අංශයේ සිටම ඉංශ්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ තීරණයට ගුරු සංගම් කිහිපයක විරෝධය

380
0

ප්‍රාථමික අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදීමේ සැළසුමට ගුරු වෘත්තිය සංගම් කිහිපයක් විරෝධය පළ කරනවා.

ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා සියලු විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලබාදීම පිළිබඳ අධ්‍යයනය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මීට පෙර අවස්ථාවකදී සඳහන් කර සිටියා. ඒ සඳහා කමිටුවක්ද පත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර තිබුණේ.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය වහා හකුලා නොගන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ලංකා ගුරු සේවා සංගමය ප්‍රකාශ කර සිටිනවා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව සඳහන් කර තිබෙනවා. 2002 වසරේ සිට පාසල්වල ක්‍රියාත්මක ද්විභාෂා අධ්‍යාපනය ශක්තිමත් කිරීමට අධ්‍යාපන බලධාරීන් මේ මොහොතේ කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමයේ අදහසයි.

මෙම සැළසුමට තම සංගමයද විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ පවසන්නේ.

මේ අතර, දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා පාසල් පෙළපොත් විනාශ වී ගිය දරුවන් සඳහා අලුතින් පෙළපොත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ එම දරුවන් තම පාසලේ විදුහල්පතිවරයාට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුව විදුහල්පතිවරුන් විසින් කොට්ඨාස සහ කලාප අධ්‍යක්ෂවරුන් මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දී ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here