Home Hit ‘ගිනිගත් නැව මෙරටට ඇතුළුවීමේදී තොරතුරු වසන් කළානම් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න’ –...

‘ගිනිගත් නැව මෙරටට ඇතුළුවීමේදී තොරතුරු වසන් කළානම් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න’ – JVP

502

ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමේදී තොරතුරු වසන් කර තිබේ නම් එම නැව් සමාගමට විරුද්ධව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි ජවිපෙ ප්‍රචාරක ලේකම් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසයි.

ඊයේ ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා මේ බව කීය.

තවද නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණු අතර එහි ඉන්ධන විශාල ප්‍රමාණයක්, විකිරණශීලී ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය තිබෙන බවට ප්‍රවෘත්ති වාර්තා වන නමුත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලබාගෙන ප්‍රකාශයට පත්කර නොමැති බව පවසන මන්ත්‍රිවරයා කියාසිටියේ එහි තිබූ කන්ටේනර් 1,486න් එක් එක් කාණ්ඩයට අයත් ද්‍රව්‍ය පිළිබඳ මහජනතාවට සත්‍ය තොරතුරු හෙළිකළ යුතු බවයි.

විකිරණශීලී ද්‍රව්‍ය ධීවර කර්මාන්තයට ඍජුවම බලපාන බවත් මේ සම්බන්ධ පරීක්‍ෂණ ධීවරයන්ට කළ නොහැකි අතර මේ සම්බන්ධ වගකීම තියෙන්නෙ ධීවර අමාත්‍යාංශයට සහ ආණ්ඩුවට බවත් පැවැසූ ඒ මහතා සඳහන් කළේ ආණ්ඩුව කඩිනමින් මැදිහත්වී මාළු පරිභෝජනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන බිය නැති කිරීමට කටයුතු කරන ලෙසයි. ධීවර ජනතාවට රු. 5000ක සොච්චමක් දී එම ජීවිත ගොඩනැඟිය නොහැකි බැවින් දැල් ආම්පන්න විනාශ වුණු අයට කඩිනමින් වන්දි ලබාදී යථා තත්ත්වයට පත් කළ යුතු බවද ඔහු කියයි.

එමෙන්ම මෙරට මුහුදු සීමාවේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව අසමත් වී තිබෙන අතර මීට මුදල් වන්දි ගත් බව කියූ නමුත් මෙම බරපතළ විනාශයට පිළිතුරක් නොලැබෙන බවත් වසර ගණනාවක් ඇදී යන මෙවැනි විනාශ සම්බන්ධයෙන් වගකීම් රහිතව කටයුතු කළ ඇමැතිවරුන් සහ ආණ්ඩුව වැරැද්දෙහි වගකීම සම්පූර්ණයෙන් භාරගත යුතු බවත් මන්ත්‍රිවරයා අවධාරණය කරයි.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ මෙම නැව විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට ලෝකය පුරා තවත් අසමත්භාවයක් ගැන ප්‍රචලිත වන සේම මින් මතුවට ලෝකයේ නැව් සමාගම් මෙරට වරායවලට පැමිණීමේ කැමැත්ත අඩු විය හැකි අතර එය රටට ආර්ථික වශයෙන් විශාල අවාසියක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here