Home Hit චීනයේ විරුද්ධ මතධාරීන්ගේ හැඟීම් කියවන කැමරා – ෂින්ජියෑන්ග් පළාතේ අත්දැකීම්

චීනයේ විරුද්ධ මතධාරීන්ගේ හැඟීම් කියවන කැමරා – ෂින්ජියෑන්ග් පළාතේ අත්දැකීම්

646

AI යනු කෘත්‍රිම බුද්ධිය හෝ ‘අයි’ තාක්ෂණය සහිත තීක්‍ෂණ සීසීටීවී කැමරා පද්ධතියකි. එය වත්මන් ඩිජිටල් ලෝකයේ දියුණු තාක්‍ෂණ මෙවලමකි.

A gate of what is officially known as a "vocational skills education centre" in Xinjiang
ෂින්ජියෑන් හි ‘වෘත්තීය අධ්‍යාපන කුසලතා මධ්‍යස්ථානය’ ලෙස නිල වශයෙන් නම්කරනු ලැබ ඇති ආයතනයේ දොරටුවක්

කෘත්‍රිම ඔත්තුබැලීමේ තාක්‍ෂණයක් සහිත AI සීසීටීවී කැමරා පද්ධතිය මගින් මිනිසුන්ගේ මුහුණේ හැඟීම් කියවිය හැකියයි සැලකේ. එවැනි කැමරා පද්ධතියක් ෂින්ජියෑන් හි ‘උයිගර්’ ජාතිකයන් අධීක්‍ෂණය සඳහා ස්ථානගත කරනු ලැබ ඇති බව බීබීසියට දැනගැනීමට ලැබුණි.

බීබීසී ‘පැනරාමා’ විශේෂාංගයට අදහස් දැක්වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් පවසන පරිදි ‘ෂින්ජියෑන්’ ප්‍රාන්තයේ පොලිස් ස්ථානයන්හි එවැනි කැමරා පද්ධතියක් සවිකර ඇත.

ඒ සඳහා ලැබී ඇති සාක්‍ෂි අධීක්‍ෂණය කළ මානව හිමිකම් උපදේශකයෙක් එම භාවිතය විග්‍රහකරන ලද්දේ ”බලවත් මානසික කම්පනයක්” ලෙසිනි.

එම කැමරා පද්ධතිය සම්බන්ධයෙන් ඉදිරිපත්වෙන ප්‍රකාශන සම්බන්ධයෙන් ලන්ඩන් නගරයේ පිහිටි චීන තානාපති කාර්යාලය මගින් සෘජු ප්‍රතිචාරයක් දක්වා නැත. එහෙත් සියලු ජනවාර්ගික කණ්ඩායම්වල සමාජ සහ දේශපාලන අයිතිවාසිකම් සහතික කරනු ලැබ ඇතැයි තානාපති කාර්යාලය පවසයි.

ෂින්ජියෑන් පළාතේ චීනයේ සුළුජන කණ්ඩායමක් වන ‘උයිගර්’ ජාතිකයන් මිලියන 12ක් පමණ වාසයකරන අතර ඔවුන්ගෙන් බහුතරය මුස්ලිම්වරු වෙති.

ප්‍රාන්තයේ වැසියන් දිනපතා සෝදිසි කිරීමට ලක්කෙරෙති. එපමණක් නොව ”දැඩි මතභේදයකට” තුඩු දී ඇති ”නැවත අධ්‍යාපනය ලබාදෙන මධ්‍යස්ථාන” විශේෂයක් එම ප්‍රාන්තයේ ක්‍රියාත්මක කෙරෙයි. මානව හිමිකම් සංවිධාන මගින් එම ආයතන හඳුන්වනු ලැබ තිබෙන්නේ ”රැඳවුම් කඳවුරු” යන වචනයෙනි. දශ ලක්ෂයකට අධික ජනතාව එම මධ්‍යස්ථානයන්හි රඳවනු ලැබ ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි.

වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින බෙදුම්වාදී කණ්ඩායම්වල ත්‍රස්ත ප්‍රහාර මගින් පුද්ගලයන් සිය ගණනක් මරාදමා ඇති හෙයින් අධීක්‍ෂණ ක්‍රියාදාමයක් අවශ්‍යකරන බවට බේජිං පාලකයෝ නිතරම තර්ක කරති.

City in Xinjiang
Xinjiang is believed to be one of the most surveilled areas in the world

බීබීසී පැනරාමා වැඩසටහනට අදහස් දැක්වූ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ඊට සහභාගී වූයේ සිය නම අනාවරණය නොකිරීමේ කොන්දේසිය යටතේය. ඊට හේතුව ඔහුට සිය රැකවරණය සම්බන්ධයෙන් සැකයක් පැවතීමය. ඔහු රැකියාව කරන සමාගමත් එය රහසක් වශයෙන් තබා ගැනීමට එකඟ විය.

AI තාක්ෂණය උපයෝගී කරගනිමින් විමර්ශනය කරන ලදැයි පවසන ‘උයිගර්’ රැඳවියන් පස්දෙනකුගේ පින්තූර ඉංජිනේරුවරයා විසින් ‘පැනරාමා’ සඳහා ප්‍රදර්ශනය කරනු ලැබීය.

Pie-chart
මෙම අධීක්‍ෂණ කැමරා පද්ධතිය මගින් ප්‍රදර්ශනය කෙරෙන දත්ත මගින් පුද්ගලයකුගේ මනසෙහි තත්ත්වය සම්බන්ධයෙන් සංඥාවක් ලබාදෙයි. සෘණාත්මක ආකල්පවලින් පෙළෙන අයකුගේ මනසේ තත්ත්වය රතුපාටින් පෙන්නුම් කෙරෙයි

”මීයන් විද්‍යාගාරවල පර්යේෂණවලට යොදාගනු ලබන ආකාරයට චීන ආණ්ඩුව ‘උයිගර්’ ජාතිකයන් විවිධ අත්හදාබැලීම් ආදියට යොදාගන්නවා”එම ඉංජිනේරුවා පැවසීය.

ප්‍රදේශයේ පොලිස් මධ්‍යස්ථානයන්හි කැමරා සවිකරනු ලැබීම සඳහා ඔහු විසින් ඉටුකරනු ලබන කාර්යභාරය ඔහු විස්තර කරයි.

”අපි මිනිසුන්ගේ හැඟීම් මීටර් තුනක දුරසිට කියවිය හැකි මට්ටමින් කැමරා ස්ථානගත කළා. එය ඔත්තුකරුවකුගේ කාර්යභාරයට සමාන එකක්. නමුත් ඉතා දියුණු තාක්ෂණයක්”

මෙම කාර්යයේ දී චීනය පුරා පොලිසිවල සවිකරනු ලැබ ඇති පුද්ගලයන් සන්සුන්ව තැබිය හැකි විශේෂ පුටු (“restraint chairs”) නිලධාරීන් විසින් භාවිත කරන බවත් ඔහු පවසයි.

”එවිට ලෝහමය වළලු මගින් අත්වල මැණික්කටු ළඟින් සිර කෙරෙනවා. ඒ වගේම වළලුකර ළඟිනුත් සිරකිරීමක් සිදු කෙරෙනවා”

පුද්ගලයකුගේ මුහුණේ ඉරියව් මොහොතෙන් මොහොත වෙනස්වෙන ආකාරය සහ මිනිසකුගේ ඇඟේ සමෙහි ඇසට නොපෙනෙන ක්‍ෂුද්‍ර සිදුරු පවා හසුකරගත හැකි මට්ටමින් එම AI කැමරා පද්ධතිය දියුණු කරනු ලැබ ඇති ආකාරය පිළිබඳව සාක්ෂි පවා ඉංජිනේරුවා ඉදිරිපත් කළේය.

ඉංජිනේරුවා සඳහන් කළ පරිදි මෘදුකාංගය මගින් ‘Pie ප්‍රස්ථාරයක්’ නිර්මාණය කරයි. එම ප්‍රස්ථාරයේ රතු කොටස මගින් පුද්ගලයකුගේ මනසෙහි අවුල් සහගතභාවය සහ නිශ්ප්‍රභ කෙරෙන සුලු මානසික හැඟීම් පිළිබිඹු කෙරෙයි. කිසිදු සාක්ෂියකින් තොරව පූර්ව නිගමන මත තීන්දුවලට එළැඹෙන මට්ටමින් එම මෘදුකාංගය නිමවා ඇති බව ඔහු කියා සිටියි..

ලන්ඩනයේ පිහිටි චීන තානාපති කාර්යාලය ‘ෂින්ජියෑන්’ පළාතේ භාවිත කරනු ලබන මිනිස් චිත්තවේග හඳුනාගැනීමේ මෘදුකාංග භාවිතය පිළිබඳ ප්‍රශ්නවලට ප්‍රතිචාර නොදැක්වූ නමුත් මෙසේ පැවසීය.

“ෂින්ජියෑන්’ පළාතේ සියලු ජනවාර්ගික කණ්ඩායම්වල දේශපාලන, ආර්ථික හා සමාජ අයිතිවාසිකම් සහ ආගමික නිදහස සහතික කරනු ලැබ තිබෙනවා. ජනවාර්ගික වෙනස්කම් නොසලකා ජනතාව සමගියෙන් ජීවත්වෙනවා. මිනිසුන්ගේ පෞද්ගලික නිදහසට කිසිදු තහංචියක් නැහැ. ඔවුන් සාමකාමී ජීවිතයක් ගත කරනව”

ඉංජිනේරුවා විසින් ඉදිරිපත්කරන ලද සාක්ෂි චීන මානව හිමිකම් අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යක්‍ෂ සොෆී රිචඩ්සන්ට පෙන්වනු ලැබුණි.

”ඒවා සිත කම්පාවට පත්කරන මට්ටමේ සාක්ෂි. එම ක්‍රියාවලිය මිනිසුන් ‘Pie ප්‍රස්ථාරයකට ලඝු කිරීමක් විතරක් නොවෙයි, එය දැඩි පීඩනයක් යටතේ මිනිසුන් බලහත්කාරයකට ගොදුරුකර ගැනීමක්”

සැක කටයුතු හැසිරීමක්

කොලරාඩෝ සරසවියේ ඩැරන් බයිලර් (Darren Byler) පවසන පරිදි ‘උයිගර්’ ජනයාට නොකඩවාම ප්‍රදේශයේ බලධාරීන්ට DNA සාම්පල දීමට සිදුව ඇත. එම ජනයා ඩිජිටල් පරීක්ෂණවලට භාජනය කෙරෙන අතර එම තොරතුරු ආණ්ඩුවේ දුරකථන ‘ඇප්’ මෘදුකාංගයක් බාගත කෙරෙයි. එමගින් එම ජනයාගේ සම්බන්ධතා ලැයිස්තුවලට අදාළ තොරතුරු සහ ඔවුන් විසින් හුවමාරු කරගනු ලබන පණිවුඩ සියල්ල එක්රැස්කර ගැනීමට හැකිවෙයි

”උයිගර් ජන ජීවිතය දත්ත එක්රැස් කරන මෙවලමක තත්ත්වයට පත්වෙලා තිබෙනවා” ඩැරන් බයිලර් (Darren Byler) පැවසීය.

ස්මාට් ජංගම දුරකථන ආදිය මගින් බලධාරීන්ට පුද්ගලයන් ගමන්ගන්නා ස්ථාන, ඔවුන් සිටින තැනක් ආදී සියල්ල හඳුනාගත හැකිය.

”මිනිස්සු ඔවුන්ගේ ගෙවල්වල ඉස්සරහ දොර වෙනුවට පිටුපස දොරෙන් පිටව යනවද? ඔවුන් තමන්ගේ නොව අනුන්ට අයත් මොටර් රථයකට ඉන්ධන පුරවනවද? ඔයවගේ හැම දෙයක් ගැනම තොරතුරු එකතු කරනවා”චීන මානව හිමිකම් අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යක්‍ෂ සොෆී රිචඩ්සන් සඳහන් කළාය.

”බලධාරීන් මිනිසුන්ගේ ගෙවල්වල දොරවල්වලින් පිටත QR කේත සවිකිරීමට පියවර අරගෙන තියෙනවා. එමගින් බලධාරීන්ට ඒ ගෙදරක ඉන්නේ කවුද? නොඉන්නේ කවුද? කියල පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්”

”එක් එක් පුද්ගලයා මට්ටමින් තොරතුරු පද්ධතියක්” සඳහා අදාළ සමාගම තාක්ෂණය සංවර්ධනය කරනු ලැබීමේ ඊනියා වැඩපිළිවෙලක නිරතවෙමින් සිටි බවක් පෙන්නුම්කෙරෙන ලියවිල්ලක් ද චීන මානව හිමිකම් පිළිබඳ ආයතනයට හමුවී ඇත.

”ආණ්ඩුව හැම පුද්ගලයකුගේම පෞද්ගලික තොරතුරු ගබඩාකර තබා ගැනීමට පියවර ගනීවි. දේශපාලන ක්‍රියාකාරකම්,මිනිසුන් පවත්වන සම්බන්ධතා,ඔවුන්ගේ සම්බන්ධතාවල ඇතුලාන්තය සහ ඔවුන්ගෙන් කවරාකාරයේ තර්ජනයක් එල්ලවෙන්න පුළුවන්ද ආදී කරුණු ගැන බලධාරීන්ට එමගින් අවබෝධයක් ලබාගන්න පුළුවන්”වීඩියෝ අධීක්‍ෂණය සම්බන්ධයෙන් ලෝකයේ බලවත්ම ආයතනය වන IPVM ආයතනයේ කෝනර් හීලි(Conor Healey) පවසයි.

Hikvision camera
‘හික්විෂන්’ (Hikvision)ව්‍යාපාරය කැමරා ඇතුළු භාණ්ඩ රාශියක් නිපදවයි

”මේ උපාංග යොදාගනිමින් ආණ්ඩුවට සිය පුරවැසියන්ගේ සියලු හැසිරීම් පුරෝකතනය කළ හැකිවෙනවා.මට හිතාගන්න බැහැ – ආණ්ඩුවකට මේ වගේ විශ්ලේෂණයක් කරන්න හැකියාවක් ලැබේවි කියල ජෝර්ජ් ඕවෙල්වත් හිතන්න ඇති කියල”

එක් එක් පුද්ගලයා අධීක්‍ෂණය සහ එක් එක් පුද්ගලයා සඳහා වෙන් වෙන් වශයෙන් තොරතුරු පද්ධති සැකසීම (One Person, One File system) සම්බන්ධයෙන් නගන ප්‍රශ්නවලට Huawei ආයතනය සුවිශේෂී පිළිතුරක් ලබා නොදෙයි. එහෙත් ඔවුන් පුනපුනා කියාසිටින්නේ,තමන් ක්‍රියාත්මක වෙන ස්ථානයන්හි රජයන් ස්වාධීනව කටයතු කරන බවය.

”එක් එක් පුද්ගලයා සඳහා වෙන් වෙන් වශයෙන් තොරතුරු පද්ධති සැකසීම”(One Person, One File system)සම්බන්ධයෙන් තමන්ට ”දැනුමක් නැතැයි” ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය පවසයි.

හික්විෂන් (Hikvision) චීන සමාගම විසින් ‘උයිගර්’ජනයා හඳුනාගත හැකි AI කැමරාවක් සම්බන්ධයෙන් පළකරන ලද දැන්වීමක වාණිජමය ද්‍රව්‍ය IPVM ආයතනයට හමුවී ඇති බව ප්‍රකාශ වී ඇත. එසේම තවත් බලවත් තාක්ෂණික සමාගමක් වන Dahua විසින් සංවර්ධනය කරන ලද ‘උයිගර්’ජාතිකයන් හඳුනාගත හැකි මෘදුකාංගයක පේටන්ට් බලපත්‍රයත් ඔවුන්ට ලැබී ඇති බව පැවසෙයි.

සිය පේටන්ට් බලපත්‍රය චීනයේ පිළිගත් ජනවාර්ගික කණ්ඩායම් 56ටම අදාළ වන අතර තමන් සිතාමතා කිසිදු එක ජනවර්ගයක් ඉලක්ක කර නැතැයි ‘Dahua’ පවසයි.

වැඩිදුරටත් අදහස් දක්ල්වන ‘Dahua’ පවසන්නේ ”එක්සත් රාජධානිය ද ඇතුළුව එය ක්‍රියාත්මක වන “සෑම වෙළෙඳපොළකම නීති සහ රෙගුලාසිවලට අනුකූලව” “ජනතාව ආරක්‍ෂිතව තබා ගැනීමට උපකාරී වන නිෂ්පාදන සහ සේවාවන්” සපයන බවය..

”තම අන්තර්ජාල වෙබ් අඩවියේ ඇතුළත් තොරතුරු නිවැරැදි නොවන බවත් ඒවා යළි අධීක්ෂණයකින් තොරව ඇතුළත් කරනු ලැබ ඇති බවත් ‘හික්විෂන්’ (Hikvision) පවසයි. එසේම සුළුජනයා හඳුනාගනු ලබන තාක්‍ෂණයක් තමන් සතුව හෝ විකුණා නැති බවත් එම සමාගම සඳහන් කරයි.

සඳහන් කරනු ලබන පේටන්ට් බලපත් ගැන තමා දැන නොසිටි බව චීනයේ AI පාලන ජාතික කමිටුවේ සභාපති ආචාර්ය ලෑන් ෂුවේ (Dr Lan Xue) පවසයි.

”එවැනි ක්‍රියා සම්බන්ධයෙන් චීනයෙන් පරිබාහිරව චෝදනා රාශියක් තියෙනවා. ඒවා නිවැරැදි හෝ සත්‍ය වූ ඒවා නොවෙයි”ආචාර්ය ලෑන් ෂුවේ කියා සිටියි.

“ෂින්ජියෑන්ග් පළාතේ ජනතාව ආරක්ෂා කිරීමේ සැබෑ වගකීම පැවරෙන්නේ ෂින්ජියැන්ග් පළාත් පාලන ආයතනයට කියල මම හිතනවා. ඒ සන්දර්භය තුළ තාක්‍ෂණය භාවිත කරන්නේ නම් එය තේරුම්ගන්න පුළුවන්” ඔහු සඳහන් කළේය.

එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලය තත්ත්වය වඩාත් යුක්ති සහගත කරමින් මෙසේ පවසයි.

”උයිගර් ජනයා විශ්ලේෂණය කෙරෙන ඔවුන්ගේ මුහුණු කියවිය හැකි කවරාකාරයේ හෝ ඊනියා තාක්‍ෂණයක් නැහැ”

දිනපතා සෝදිසිය


Hu Liu in a street in Chongqing
තමා නිරන්තරයෙන් සෝදිසිකිරීමට ලක්වෙමින් ඇති බව හූ ලියුගේ හැඟීමයි

ලෝකයේ ඔත්තු බලන කැමරා මිලියන 800ක් පමණ භාවිතයට ගැනෙමින් පවතින අතර එයින් භාගයක්ම චීනය සතුයයි ඇස්තමේන්තු කෙරෙයි.

එපමණක් නොව,නාගරික පරිසරයෙහි පදනම් තුළ AI තාක්ෂණය ස්ථානගත කරන ලද ‘චොන්ග්කිං'(Chongqing) වැනි ‘ස්මාර්ට්’ තාක්ෂණය සහිත නගර ගණනාවක් ද චීනය සතුය.

‘චොන්ග්කිං'(Chongqing)නගරයේ කටයුතු කරන ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන හු ලියු (Hu Liu) තම අත්දැකීම් බීබීසී ‘පැනරාමා’ වැඩසටහනට එක්කරමින් මෙසේ සඳහන් කළේය.

”කවුරුහරි කෙනෙක් ගෙදරින් පිටවෙලා සෝපානයට ඇතුල්වෙන කොට ඒ සමඟ ඔහු කැමරාවකට හසුවෙනවා. හැමතැනම කැමරා”

”මට ගමනක් යන්න කුලී රථයක් කැඳවන අවස්ථාවල දී කුලීරථ සමාගම මගේ සියලු තොරතුරු ආණ්ඩුව වෙනුවෙන් සටහන් කරගන්නවා. ඉතින් මම ආපනශාලාවකට ගිහින් මගේ මිතුරන් කීපදෙනෙක් හමුවෙමින් සිටින විට බලධාරීන් කැමරා මගින් දන්නවා-මම ඉන්නේ කොතැනද? කියල”

”මම මගේ මිතුරු සමාගම් පවත්වන ලද ඇතැම් අවස්ථාවල ඒ විගසම ආණ්ඩුවේ නියෝජිතයෙක් මා විමසූ අවස්ථා තියෙනවා. ඔවුන් මට අනතුරු අඟවලත් තියෙනවා. ඔවුන් කියනවා ‘මේ පුද්ගලයා නැවත හමුවෙන්න එපා-මේ මේ දේවල් ආයෙත් කරන්න එපා’ කියලා”

”ඔත්තු බලන මේ කෘත්‍රිම උපකරණ නිසා අපට දැන් හැංගෙන්න තැනක් නැහැ” හු ලියු (Hu Liu) පවසයි.

ජේන් වේක්ෆීල්ඩ්
තාක්‍ෂණ තොරතුරු පිළිබඳ බීබීසී වාර්තාකාරිනී
උපුටා ගැනීම BBC NEWS සිංහල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here