Home Hit පොහොර තහනම තුන් බියකට පාර කැපීමක් – විපක්ෂ නායක

පොහොර තහනම තුන් බියකට පාර කැපීමක් – විපක්ෂ නායක

250
0

කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීම හදිසියේම තහනම් කිරීම සහ කාබනික පොහොරවලට පමණක් යොමුවීම තුළින් රට තුළ ඇතිවන ආහාර හිඟය වැළැක්වීම සඳහා ආණ්ඩුව ගනු ලබන පිළියම කුමක්දැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විමසා සිටියේය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (10) මාධ්‍ය අමතා විශේෂ ප‍්‍රකාශයක් කළ විපක්ෂ නායකවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

කෘෂිකර්මාන්තයට පොහොර තහනමක් දැමීම නිසා රට තුළ බරපතළ ප‍්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ පර්යේෂණ හරහා ඔප්පු වෙලා තිබෙනවා මේ රටේ දේශීය ආහාර නිෂ්පාදනය 20% සිට 40% දක්වා අඩුවන බවට. මේ තත්ත්වය තුළ රට තුළ ආහාර සුරක්ෂිතභාවය පළුදු වෙනවා. රට තුළ සාගින්නක් නිර්මාණය වීමේ ඉඩ ප‍්‍රස්ථාව වර්ධනය වෙනවා. විශේෂයෙන්ම කාබනික පොහොරවලට පමණක් යොමුවීම තුළ රට තුළ ඇතිවන ආහාර හිඟයට කුමක්ද පිළියම?

පැහැදිලිවම අප කළ යුත්තේ පළවෙනි පරම්පරාවේ බාල අඩු මිලට ගන්න පොහොර යෙදවීම අඩු කරල දෙවැනි තුන්වැනි පරම්පරාවේ ඉහළ ප‍්‍රමිතියේ පොහොර යෙදවීමයි. නියමිත මාත‍්‍රාවට එම පොහොර යෙදවීම ක‍්‍රියාත්මක කිරීමයි. නොමිලේ පොහොර ලබාදීමේ නාමයෙන් බාල පොහොර ගෙන්වමින් රට තුළ ක‍්‍රියාත්මක වන පොහොර සූදුව වහා නතර කළ යුතුයි. ඉහළ ප‍්‍රමිතියේ පොහොර ලබාගැනීමට සහ නියමිත මාත‍්‍රා යෙදවීමේ ක‍්‍රමයක් නිර්මාණය කරන්නට රජය කටයුතු කරන්නට ඕන.

ඒ වගේම ලෝකය දිහා බැලූ‍වොත් රටවල් දාසයක් පමණක් තමන්ගෙ කාබනික පොහොර නිෂ්පාදනය සියයට 10 බැගින් නිපදවන්නට සමත්වෙලා තිබෙනවා. ඒ ඔස්ටි‍්‍රයාව, සමෝවා, ලිච්ටෙන්ස්ටයින් යන රටවල්. අපේ රටේ දැනට කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව සියයට 01 ක් පමණයි. අපිට අහන්නට ලැබෙනවා මේ ඌනතාවය පිරිමහ ගන්නට පිටරටින් ගෙන්වන්නට යනවා කියලා කාබනික පොහොර. කොහෙද පිටරටවල් වල නිෂ්පාදන ධාරිතාවයක් තිබෙන්නේ අපේ රටේ කාබනික පොහොර අවශ්‍යතාව 100% කින් සපුරාලන්න. ඒක මිථ්‍යාවක්. ඒක ගොවියා රැුවටීමක්.

එපමණක් නොවෙයි පිට රටවල්වලින් කාබනික පොහොර ගෙන එනකොට ජෛව විවිධත්ව ප‍්‍රශ්න නිර්මාණය වෙනවා. ඒවගේම එම පොහොරවල බැර ලෝහ ප‍්‍රශ්න, ගුණාත්මකභාවයේ ප‍්‍රශ්න රැුසක් තිබෙනවා. කවුද මේවට වගකියන්නෙ? ඇත්ත වශයෙන්ම ගොවියාට මේ තහංචිය දැමීම තුළ මේ රජය කරන්නේ තමන්ට ලැබුණු ජනවරම පාවාදීමක්. ගොවියා මේ රටේ තව තවත් දරිද්‍රතාවට ඇද වැට්ටවීමක්. සිදුවිය යුත්තේ කුමක්ද? බාල පොහොර ගෙන්වීම නවත්තලා උසස් ප‍්‍රමිතියේ දෙවැනි දෙවෙනි තුන්වෙනි පරම්පරාවේ පොහොර ගෙන්වලා, ඒවා නොමිලේ ලබා දීලා නියමිත මාත‍්‍රාවන් ක‍්‍රියාත්මක කිරීම සඳහා ක‍්‍රමික වැඩසටහනක් කෘෂි ව්‍යාප්ති ව්‍යාපාර හරහා විද්‍යාත්මකව සිදුකිරීමයි.

ඒ නිසා මේ රජයට මම යෝජනා කරනවා කරුණාකරලා අපේ රටේ ගොවියා අනාථ කරන්නට එපා. කරුණාකරලා අපේ රටේ තුන් බියක් ඇති කරන ක‍්‍රියාදාමයට දායක වන්නට එපා. කොරෝනා වසංගතය තුළ රට අනාථ වෙලා තිබෙන්නේ. රට අරාජික වෙලා තිබෙන්නේ. මේ වසංගතය තුළ සාගින්නක් නිර්මාණය කරන්නට කටයුතු කරන්නට එපා.

ආණ්ඩුව ගත් අඥාන තීන්දුව ආපහු හරවගන්න. අදූරදර්ශී තීන්දුව අකුලා ගන්න. විද්‍යාත්මකව කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ විශේෂඥයින්ගේ උපදෙස් අනුව කටයුතු කරලා කාබනික පොහොර භාවිතය ක‍්‍රමිකව කාල සටහනක් අනුව ඉදිරිපත් කරන්නට කටයුතු කරන්න. මේ රටේ ගොවි ජනතාව වළපල්ලට ඇද දමන්න එපා කියලා මං ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. වහාම ක‍්‍රියාත්මක වන පරිදි රටේ ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දුව අරගෙන මේ අදූරදර්ශී යෝජනාව හකුලා ගන්න කියලා මම රජයට ප‍්‍රකාශ කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here