Home Coronavirus 2020 දඹුල්ලේ තත්ත්වය බරපතළ වෙමින් පවතියි

දඹුල්ලේ තත්ත්වය බරපතළ වෙමින් පවතියි

230
0

දඹුල්ලේ තත්ත්වය බරපතළ වෙමින් පවතින බවත් කොවිඩ් වයිරසය ශරීරගත වූ පුද්ගලයන් 60ක් පමණ දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල සිටින බවත් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමට නොහැකි තත්ත්වයක පසුවන බව නාගරික සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා ඊයේ (04දා) පැවැසීය.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ නගරය මේ වනවිට බරපතළ තත්ත්වයකට පත්වෙමින් පවතින බවත් නගරයේ තොග වෙළෙඳසල් සේවකයන්ගේ සිදුකළ පරීක්ෂණවලදී තොග කඩ රැසක පුද්ගලයන් හතළිස් හත් දෙනකුට අධික පිරිසක් වයිරසය ශරීරගත වූ පුද්ගලයන් ලෙස අනාවරණය වූ බවත්ය. ඒ අනුව දඹුල්ලේ ආහාර අලෙවි කරන තොග වෙළෙඳසල් සියල්ල වසා දමා තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කළහොත් ඊට මුහුණදීම සඳහා දඹුල්ල මහ නගර සභාවේ වෙනමම කණ්ඩායමක් පුරුදු පුහුණු කරමින් එම කණ්ඩායමට නිල හැ¾දුනුම්පත් ලබා දීම නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින දඹුල්ල නගර සභා කාර්යාලයේදී සිදුකෙරිණි.

එම අවස්ථාවේදී නගරාධිපතිවරයා කියා සිටියේ මේ වන විට දඹුල්ල නගරය බරපතළ තත්ත්වයකට නතු වෙමින් පවතින බවය. ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කළහොත් වෙළෙඳසල් අටකට එක් නගර සභා සේවකයකු ලෙස යොදවා සියලු කටයුතු අධීක්ෂණය කරමින් නිරෝධායන නීති උල්ලංඝනය කරන සියලු දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමටද අවශ්‍ය පියවර ගන්නා බවද නගරාධිපතිවරයා පැවැසීය.

එමෙන්ම පසුගියදා සිදුකරන ලද පරීක්ෂණවලදී දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි තොග වෙළෙඳසල්වල සේවකයන් විශාල වශයෙන් වයිරසය ශරීරගත වූවන් බව හඳුනාගැනීම මෙම බරපතළ තත්ත්වයට තුඩුදී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා කියා සිටියේ මේ වන විට වයිරසය ශරීරගත වූ පුද්ගලයන් අනූවකට වඩා වැඩි පිරිසක් තම බල පෙදෙසින් හමුවී ඇති බවය. එමෙන්ම පුද්ගලයන් හැටකට අධික පිරිසක් මේ වන විටත් නිවෙස්වල සිටින බවත් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිවීම නිසා අපහසුතාවලට පත්ව ඇති බවත්ය. දැනට දඹුල්ල නගරයට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව යොදවා ඇත.

-මව්බිම-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here