Home Hit කාබනික ගොවිතැන සරල නෑ – ආණ්ඩුව හදන්නෙ කාබනික ගොවිතැන රටටම එපා කරවන්න

කාබනික ගොවිතැන සරල නෑ – ආණ්ඩුව හදන්නෙ කාබනික ගොවිතැන රටටම එපා කරවන්න

248
0

කාබනික ගොවිතැන යනු කොම්පෝස්ට් වගාවලට කොම්පෝස්ට් පොහොර යෙදීම වැනි සරළ ක්‍රියාවලියක් නොව ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා කාබනික කෘෂිකර්ම සංගමයේ සභාපති තිලක් කාරියවසම් මහතා පවසනවා.

එම සංකීර්ණ ක්‍රියාවලිය තුළ සපුරා ගත යුතු සාධක ගණනාවක් පවතින බවත්, දිගුකාලීන ක්‍රියාවලියක් බවත් ඔහු පෙන්වා දෙනවා.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින්, ‘විද්‍යාව සහ මිථ්‍යාව’ මැයෙන් සංවිධානය කර තිබූ අන්තර්ජාල සාකච්ඡාවට සහභාගි වෙමින් තිලක් කාරියවසම් මහතා මේ බව අවධාරණය කරන ලදි.

රසායනික පොහොර සහ කෘෂි රසායන සම්පූර්ණයෙන් තහනම් කර ආණ්ඩුව මේ සූදානම් වන්නේ කාබනික ගොවිතැන පිළිබඳව අඳුරු චිත්‍රයක් මවා ඒ හරහා කාබනික ගොවිතැන රටේ ජනතාවට එපා කරවීමට බවද ඔහු පෙන්වා දෙනවා. මේ හරහා සිදුවන්නේ දැනට දුෂ්කරතා මධ්‍යයේ හෝ කාබනික ගොවිතැනෙහි නිරතව සිටින ගොවීන් අධෛර්යමත් කිරීම බවද ඔහු පවසනවා. කාබනික ගොවිතැනට අවශ්‍ය සෙසු සාධක සම්පූර්ණ නොකර කොම්පෝස්ට් පොහොර පමණක් වගාවට යෙදීමෙන් බලාපොරොත්තු වන අස්වැන්න ලබාගත නොහැකි බවත්, එහි ප්‍රතිඵලය වන්නේ කාබනික ගොවිතැන සම්පූර්ණයෙන් අසාර්ථක ක්‍රමවේදයක් බව මහජනයා තුළ මතයක් තහවුරු වීම බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් පවසනවා.

පසුගිය යහපාලන රජය සමයේදීද ජනාධිපති කාර්යාලය හා එක්ව අතුරලියේ රතන හිමි කාබනික වගාව ප්‍රචලිත කිරීමේ හදිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ නමුත් අවසානයේදී එම වැඩපිළිවෙලට සම්බන්ධ වූ ගොවීන්ට සිය අස්වැන්න විකුණා ගැනීමට හෝ නොහැකිව අන්ත අසරණ වූ බව පෙන්වා දෙන තිලක් කාරියවසම් මහතා පවසන්නේ නැවතත් වෙනත් මුහුණුවරකින් එම වැඩපිළිවෙල යළිත් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here