Home Hit ගෝඨාභය හැදුවේ JRගේ පාරෙ යන්න

ගෝඨාභය හැදුවේ JRගේ පාරෙ යන්න

219
0

තමන්ගේ ඔළුවේ ඉපදෙන සෑම සිතිවිල්ලක්ම මේ රටේ නීතියක් නොවන බව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා දැනගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (04) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයෙකු විසින් පළමු වතාවට කිසිවක්ම සිදු නොවුණු ස්වයං මරණයක් අත්වූ කොමිසමක් පිහිටවූ බවයි. මෙය ස්ථාපිත කළ මොහොතේම එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව පරාජය කරන බව පැවසූ අතර මේ වන විට එකී විශේෂ ජනාධිපති කොමිසම කල් ඉකුත්වූ කොමිෂන් සභාවක් වන හෙයින් එයට කළ හැකි දෙයක් නොමැති බවයි දිසානායක මහතා කියාසිටියේ.

”උපාලි අබේරත්න හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් පැවති කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනවාරි 15වැනි දින කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එහි එක් නිර්දේශයකින් මා ඇතුළු තවත් පිරිසක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ඉල්ලුවා. මේ සඳහා පදනම් කරගනු ලැබුවේ මීට වසර 40කට පමණ පෙර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් සිරිමාවෝ බණ්ඩාරනායක විපක්‍ෂ නායකවරියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා පාවිච්චි කරන ලද පනතයි.

ඒ අනුව පසුගිය ජනවාරි 29වැනිදා ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 03කුගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කළා. ඔහුගේ හදිසිය නිසා බොහෝ විට කරගන්නා පරිදි එයටද සංශෝධනයක් ගෙන ඒමට පෙබරවාරි 05 වැනිදා නැවත ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඔහුටම ගැලපෙන දිනයේ අප්‍රේල් 01වැනිදා එම කොමිෂන් සභාවට අදාළ නැවත සංශෝධනයක් සිදුකළා. මෙමගින් ඔහු මෙම ජනාධිපති කොමිෂන් සභාව සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් සිටි බව පෙනී යනවා. කෙසේ වුවද අප්‍රේල් 29වැනිදා වන විට මෙම කොමිෂන් සභාවේ කාලය අවසන් වුණා. එහි වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදුන්නාද? අප දන්නා පරිදි නම් එක් දිනක් හෝ මෙම කොමිෂන් සභාව රැස්වුණේ නැහැ. එයට අපව කැඳෙව්වෙත් නැහැ. ඒ නිසාම එහි වාර්තාවක් තිබෙන්නට විදිහකුත් නැහැ.”

ඒ අනුව මෙය සරත් වීරසේකර අමාත්‍යවරයාගේ මෙන්ම ජනාධිපතිවරයාගේත් පුස් වෙඩිල්ලක් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

”ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා කළ පරිද්දෙන් මෙම පනත උපයෝගී කර ගනිමින් දේශපාලන නායකයින් දඩයම් කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ අරමුණු කරගෙන සිටියා. 20වැනි සංශෝධනයෙන් ලැබුණු බලයත් 2/3 පාර්ලිමේන්තු ජන වරමත් ඒ සඳහා පාවිච්චි කිරීමට ඔහු අපේක්ෂා කළා. මේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම අරමුණු කරගත් කැබිනට් පත්‍රිකාව ගෙන ආ කැබිනට් මණ්ඩලයේ 1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහින්ද රාජපක්‍ෂත් හිටියා. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව ඔහු හඬ නැගුවා. ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් අපේ හඬ යටපත් කළ හැකියැයි ඔවුන් සිතනවා විය හැකියි. අපට දේශපාලනය කිරීමට ප්‍රජා අයිතිය නැමති ලයිෂන් එක අවශ්‍ය නැහැ. එයට කළ යුත්තේ කුමක්දැයි අපි මෙයට පෙර කියා තිබෙනවා.” යැයි ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here