Home Hit කොවිඩ් 19 නිසා 15,000කට රැකියා අහිමි වෙලා – කම්කරු ඇමති

කොවිඩ් 19 නිසා 15,000කට රැකියා අහිමි වෙලා – කම්කරු ඇමති

186
0

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන අනුව රට තුළ 15,000කට පමණ රැකියා අහිමි වී තිබෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (04) අමාත්‍යාංශය පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

රැකියා අහිමි වී තිබෙන පුද්ගලයින්ගේ සුභ සාධනය භාරගැනීමට සිදුවන අතර විශේෂයෙන් විදෙස් ගත ශ්‍රමිකයින් ගතහොත් මේ වන විට 58,000ක් පමණ දිවයිනට පැමිණ සිටින අතර තවත් 30,000ක් පමණ පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඔවුන් නිරෝධායන කිරීමට අවශ්‍ය හෝටල් පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් මුදල් ගෙවා සූදානම් කර තිබෙන බවත් එම පිරිස්වලින් කිසිදු මුදලක් අය නොකරන බවත් PCR පවා රජයේ වියදමින් සිදුකරන බවත් හෙතෙම කියා සිටියි.

මේ අතර කොවිඩ් 19 වසංගතය පැතිරීම නිසා රැකියාවලට පැමිණීමට නොහැකිව නිවෙස්වලට වී සිටීමට සිදුව ඇති අයට වැටුපෙන් භාගයක් ගෙවීමටත්, රැකියාවට පැමිණෙන අයට සුපුරුදු ලෙස සම්පූර්ණ වැටුප ගෙවීමටත් එමෙන්ම යම් කිසි හෙයකින් පවතින තත්ත්වය නිසා කර්මාන්ත ශාලා වැසීමට සිදුවුණහොත් සේවය අවසන් කිරීම පනත යටතේ ඔවුන්ට වන්දි ලබා ගැනීමට ඉඩ කඩ සලසා දී ඇති බවද කම්කරු අමාත්‍යවරයා සඳහන් කරයි.

කම්කරු දෙපාර්තමේන්තුව,හාම්පුතුන් සහ වෘත්තීය සමිති එක්ව ජාතික මට්ටමෙන් සාකච්ජා කර එම තීරණවලට එළඹ තිබේ. මෙම මාධ්‍ය හමුවට කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රසිරි මහතාද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here