Home Business නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය 2020 දී

නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය 2020 දී

487
0

2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් සියයට 3.6කින් සංකෝචනය වී ඇති බවත් ඒය නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ වාර්තා වූ විශාලතම ආර්ථික අවපාතය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2020 වාර්ෂික වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරන අතර වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයෙහි ඇති වූ පසුබෑම හා සමගාමීව මෙම තත්ත්වයට මුහුණ පෑමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව ඒහි සඳහන් වේ. මෙහිදී වැඩිදුරටත් මහ බැංකුව මෙසේ කියා සිටියි.

රජය සහ මහ බැංකුව විසින් සිදු කරන ලද සුවිශේෂී ප‍්‍රතිපත්තිමය මැදිහත්වීම් තුළින්, 2020 වසරේ දී ශ‍්‍රී ලංකා ආර්ථිකය සංකීර්ණ අභියෝගයන්ට කාර්යක්ෂම ලෙස මුහුණ දුන්නේය. කොවිඞ්-19 වසංගතයෙන් පැන නැගුණු ගැටලූ හේතුවෙන් සමාජ ආර්ථික බලපෑම් ඇති වීම සහ, එහි ප‍්‍රතිඵලයක් ලෙස කුටුම්භ ඒකක හා ව්‍යාපාර වෙත වූ බලපෑම අවම කිරීම සඳහා මෙම ප‍්‍රතිපත්තිමය මැදිහත්වීම් අත්‍යවශ්‍ය විය. එසේම, ආර්ථිකය තුළ විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත්, එමගින් සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව මත ඇති කෙරෙන දැඩි පීඩනය වළක්වාලීමටත් එවැනි මැදිහත්වීම් අවශ්‍ය විය.

වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයෙහි ඇති වූ පසුබෑම හා සමගාමීව, නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය වාර්තා කරමින්, 2020 වසරේ දී ආර්ථිකය මූර්ත වශයෙන් සියයට 3.6කින් සංකෝචනය විය. කොවිඞ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණ ඇතිව දේශීය හා ගෝලීය වශයෙන් පැනවූ සංචරණ සීමා සහ අනෙකුත් ක‍්‍රියාමාර්ග හේතුවෙන් ආර්ථිකයේ සෑම අංශයකම මූර්ත ආර්ථික කටයුතුවලට බාධා එල්ල විය. ඉදිකිරීම් සහ නිෂ්පාදන ක‍්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස පසුබෑමකට ලක් වීම හේතුවෙන් වසර තුළ දී කර්මාන්ත අංශයේ ක‍්‍රියාකාරකම්වල තියුණු පහළ යෑමක් දක්නට ලැබුණි. වසංගතය හේතුවෙන් ප‍්‍රවාහන, වෙනත් පෞද්ගලික සේවා සහ නවාතැන් හා ආහාරපාන සැපයීමේ සේවාවල සිදු වූ පහළ යෑමත් සමඟ සේවා අංශයෙහි ක‍්‍රියාකාරකම්වල ද සැලකිය යුතු සංකෝචනයක් වාර්තා විය. කාලෝචිත ප‍්‍රතිපත්ති තුළින් ලද සහාය සහ හිතකර කාලගුණික තත්ත්වයන්හි ධනාත්මක බලපෑම ඉක්මවා වසංගතයෙහි බලපෑම ඉස්මතු වීම හේතුවෙන් කෘෂිකාර්මික අංශය ද වසර තුළ දී සංකෝචනය විය.

ආයෝජක අපේක්ෂා මන්දගාමී වීම පිළිබිඹු කරමින්, 2020 වසරේ දී ආයෝජන වියදම් සංකෝචනය වූ අතර, පරිභෝජන වියදමෙහි සු`ඵ වර්ධනයක් දක්නට ලැබුණි. ජාතික ඉතුරුම්වල පහළ යෑම ඉක්මවා ආයෝජන වියදම අඩු වීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස 2020 වසරේ දී ඉතුරුම්-ආයෝජන පරතරය අඩු විය. මේ අතර, වසංගතය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිතතා මධ්‍යයේ, ශ‍්‍රම බලකා සහභාගිත්ව අනුපාතය පහත වැටුණු අතර, 2009 වසරින් පසුව ප‍්‍රථම වරට සේවා වියුක්ති අනුපාතිකය සියයට 5 ඉක්මවීය. පවත්නා වෙළඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.* පහළ යෑමේ සහ එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශී‍්‍ර ලංකා රුපියල අවප‍්‍රමාණය වීමේ ඒකාබද්ධ බලපෑම පිළිබිඹු කරමින්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් 3,852 සිට 2020 වසරේ දී එ.ජ. ඩොලර් 3,682ක් දක්වා පහළ ගියේය. සමස්ත ආර්ථිකයේ ප‍්‍රමාණය, 2019 වසරේ එ.ජ. ඩොලර් බිලියන 84.0ක සිට 2020 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 80.7ක් දක්වා පහළ යෑමට ද වසංගතය හේතු විය. සමස්තයක් ලෙස ආර්ථිකය සංකෝචනය වුව ද, රාජ්‍ය මූල්‍ය හා මුදල් ප‍්‍රතිපත්ති යන දෙ අංශයම තුළින් ක‍්‍රියාවට නැංවූ වර්ධනාභිමුඛ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගවලට ප‍්‍රතිචාර දක්වමින්, 2020 වසරේ දෙවන භාගයේ දී ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කළේය.

රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ කාලීන ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගවල සහාය ඇතිව, විදේශීය අංශය 2020 වසර තුළ දී මුහුණ දීමට සිදු වූ ප‍්‍රබල බාධකයන්ට එරෙහිව ක‍්‍රියාත්මක විය. ශ‍්‍රී ලාංකීය අපනයනකරුවන්ගේ අවදානම්වලට මුහුණ දීමේ හැකියාව පිළිබිඹු කරමින්, සංචරණ සීමා පැනවීම සහ සමාජ ආර්ථික කටයුතු සීමා කිරීමේ ක‍්‍රියාමාර්ග හේතුවෙන් අඩු වූ වෙළඳ භාණ්ඩ අපනයන කඩිනමින් යථා තත්ත්වයට පත්විය. ඒ අනුව, කෙටි කාලපරිච්ෙඡ්දයක් තුළ දී අපනයන ඉපැයීම් වසංගතයට පෙර පැවති මට්ටමට නැවත ළඟා විය. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා කිරීමට ගනු ලැබූ ක‍්‍රියාමාර්ග සහ ලෝක වෙළඳපොළෙහි ඛනිජ තෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතීම, 2020 වසරේ ආනයන වියදම පහළ යෑම සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු වූ අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු විය. ගෝලීය වශයෙන් සංචරණ සීමා පැනවීම හේතුවෙන් සංචාරක ක්ෂේත‍්‍රය දැඩි බලපෑමකට ලක්විය. වසංගතය මධ්‍යයේ වැඩ කිරීම සම්බන්ධයෙන් නිර්මාණය වූ නව්‍ය වාතාවරණයේ සහාය ලබමින්, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක‍්‍රියාවලි බාහිර මූලාශ‍්‍ර වෙත පැවරීම (IT/BPO) යන අංශයට අදාළ සේවා වෙළඳාම මත විදේශ විනිමය ඉපැයීම් සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. වසංගතය ආරම්භ වීමත් සමඟ විදේශ සේවා නියුක්තිකයින්ගේ පේ‍්‍රෂණවල පහළ යෑමක් දක්නට ලැබුණ ද, 2020 වසර තුළ දී පේ‍්‍රෂණ ලැබීම් සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත් විය. මෙම වර්ධනයන් සහ ප‍්‍රතිපත්ති ගැළපීම් සමඟ, විදේශීය ජංගම ගිණුමේ හිඟය ද.දේ.නි.යෙහි ප‍්‍රතිශතයක් ලෙස 2019 වසරේ වාර්තා වූ සියයට 2.2 සිට 2020 වසරේ දී සියයට 1.3ක් දක්වා අඩු විය. මේ අතර, ගෝලීය අවිනිශ්චිතතා ඉහළ යෑම සහ විදේශීය ඍජු ආයෝජන හා විවිධ ආයෝජන සම්බන්ධයෙන් ආයෝජකයින් අනුගමනය කළ ආරක්ෂාකාරී ප‍්‍රවේශය හේතුවෙන් මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් අඩු විය.

2020 මාර්තු-අපේ‍්‍රල් කාලය තුළ හා 2020 වසර අවසාන කාලයේ දී පීඩනයක් පැවතිය ද, සුදුසු ක‍්‍රියාමාර්ග ඔස්සේ විනිමය අනුපාතිකයෙහි සැලකිය යුතු විචලතා වළක්වා ගැනුණු අතර, 2020 වසර තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශී‍්‍ර ලංකා රුපියලෙහි අවප‍්‍රමාණය වීම සියයට 2.6කට සීමා විය. සමස්තයක් ලෙස, 2020 වසර තුළ දී මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් ශුද්ධ පදනම මත විදේශ විනිමය අවශෝෂණය කළ අතර, 2020 වසර අවසානයේ දී එ.ජ. ඩොලර් බිලියන 5.7ක් වූ දළ නිල සංචිත ප‍්‍රමාණය මාස 4.2ක ආනයන සඳහා ප‍්‍රමාණවත් විය.

2020 වසර ආරම්භ වන විට රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය මගින් මන්දගාමීව පැවති ආර්ථිකයට සහාය සැපයීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබිණි. කෙසේ වෙතත්, වසංගතයේ බලපෑම හේතුවෙන් 2020 වසර තුළ දී රාජ්‍ය මූල්‍ය කටයුතු සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දීමේ ප‍්‍රතිඵලයක් ලෙස ආදායම් රැුස් කිරීම අපේක්ෂිත මට්ටමට වඩා පහළ මට්ටමක පැවති අතර, පුනරාවර්තන වියදම් ඉහළ ගියේය. වසංගතය හේතුවෙන් ආර්ථික ක‍්‍රියාකාරකම් මත ඇති වූ බලපෑම මෙන්ම, සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය හේතුවෙන් ප‍්‍රාග්ධන වියදම අඩු විය. රාජ්‍ය මූල්‍ය කටයුතු මත වූ දැඩි පීඩනය පිළිබිඹු කරමින්, 2020 වසරේ දී වර්තන ගිණුමේ හා ප‍්‍රාථමික ශේෂයන්හි හිඟයයන් ඉහළ යෑමත්, සමස්ත අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප‍්‍රතිශතයක් ලෙස සියයට 11.1ක් ලෙස වාර්තා වීමත් සමඟ සමස්ත රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය අපේක්ෂා කළ මට්ටමට වඩා දුර්වල විය.

ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත හෙළීම සහ අහිතකර ගෝලීය මූල්‍ය වෙළඳපොළ තත්ත්වයන් මධ්‍යයේ විදේශීය මූල්‍යනය සඳහා වූ සීමිත ප‍්‍රවේශය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අංශය මත වූ පීඩනය දැඩි විය. විදේශීය මූලාශ‍්‍රවලින් අරමුදල් ලබාගැනීම සඳහා වන සීමිත ප‍්‍රවේශය සහ මැදි කාලීනව විදේශීය මූලාශ‍්‍ර මගින් කෙරෙන මූල්‍යනය අවම කිරීම සඳහා වූ රජයේ ප‍්‍රකාශිත මූල්‍යන උපායමාර්ගය පිළිබිඹු කරමින්, 2020 වසර තුළ දී අයවැය හිඟය දේශීය මූලාශ‍්‍ර තුළින් මූල්‍යනය කෙරිණි. අයවැය හිඟය ඉහළ යෑම සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස මූල්‍යන අවශ්‍යතා ඉහළ යෑම මෙන්ම, ද.දේ.නි.ය සංකෝචනය වීම තුළින් මධ්‍යම රජයේ ණය සමස්තය ද.දේ.නි.යෙහි ප‍්‍රතිශතයක් ලෙස 2019 වසර අවසානයේ පැවති සියයට 86.8 සිට 2020 වසර අවසානය වන විට සියයට 101.0ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ ණය ප‍්‍රමාණයේ ප‍්‍රතිශතයක් ලෙස නොපිය වූ විදේශීය ණය සමස්තය 2019 වසර අවසානයේ වාර්තා වූ සියයට 47.6 සිට 2020 වසර අවසානයේ දී සියයට 40.0ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු විය. අහිතකර වෙළඳපොළ සමපේක්ෂණයන් මධ්‍යයේ වුව ද, රජය, සිය ණය සේවාකරණය සම්බන්ධයෙන් මෙතෙක් පවත්වා ගන්නා ලද නොබිඳුණු වාර්තාව අඛණ්ඩව පවත්වා ගැනීමට කටයුතු කළේය. සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශයක් තුළ වුව ද, මහ බැංකුවෙහි සහ බැංකු අංශයෙහි මූල්‍ය සහයෝගය ඇතිව, වසංගතයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් හට සහන සැලසීම සඳහා රජය අඛණ්ඩව කටයුතු කළේය.

මේ අතර, අඩු උද්ධමන පීඩන මෙන්ම මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා මගින් 2020 වසර තුළ දී සිය මුදල් ප‍්‍රතිපත්ති ස්ථාවරය සැලකිය යුතු ලෙස ලිහිල් කිරීම සඳහා අවශ්‍ය අවකාශය මහ බැංකුව වෙත ලැබිණි. ව්‍යාපාර හා පුද්ගලයන්ගේ අරමුදල් පිරිවැය අඩු කිරීම, මුදල් වෙළඳපොළ තුළ ප‍්‍රමාණවත් ද්‍රවශීලතාවක් පැවතීම තහවුරු කිරීම සහ වසංගතය මගින් නිර්මාණය කරන ලද අභියෝගාත්මක තත්ත්වයන් යටතේ මූල්‍ය පද්ධතියේ සුමට ක‍්‍රියාකාරිත්වයක් තහවුරු කිරීම මෙම ක‍්‍රියාමාර්ගවල අරමුණු විය. ප‍්‍රධාන ප‍්‍රතිපත්ති පොලී අනුපාතික ඉතිහාසයේ වූ අවම මට්ටම් දක්වා පදනම් අංක 250කින් අඩු කිරීම සහ බලපත‍්‍රලාභී වාණිජ බැංකු වෙතැති රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් පහත දැමීම මෙන්ම, බැංකු අනුපාතිකය පදනම් අංක 650කින් අඩු කිරිම තුළින් මහ බැංකුව විසින් 2020 වසර තුළ දී අතිශයින්ම ලිහිල් මුදල් ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නංවන ලදී. මීට අමතරව, වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා කාරක ප‍්‍රාග්ධනය සැපයීම ඉලක්ක කරගනිමින් මහ බැංකුව විසින් සහනදායී ණය යෝජනා ක‍්‍රම හඳුන්වා දෙනු ලැබීය.

තවද, තෝරා ගත් මූල්‍ය උපකරණවලට අදාළ ණය අනුපාතික පහළ යෑම වේගවත් කිරීම සඳහා මහ බැංකුව විසින් ඍජු ක‍්‍රියාමාර්ග මෙන්ම ශිෂ්ට ප‍්‍රයෝග ද යොදා ගන්නා ලදී. ඒ අනුව, 2020 වසරේ දෙවන භාගයේ සිට පෞද්ගලික අංශයට සපයන ලද ණය යථා තත්ත්වයට පත්වීම ආරම්භ විය. මේ අතර, මහ බැංකුව සහ බැංකු අංශය විසින් වසංගතය මධ්‍යයේ අවහිරතාවකින් තොරව රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය මූල්‍යන පහසුකම් සපයන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස, අනෙකුත් අංශ සඳහා වූ ණය ප‍්‍රසාරණයට අමතරව, බැංකු අංශය විසින් රජයට ලබා දුන් ශුද්ධ ණය 2020 වසර තුළ දී සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, එමගින් පු`ඵල් මුදල් සැපයුමෙහි සැලකිය යුතු ප‍්‍රසාරණයක් ඇති විය. මේ අතර, වසංගතය හේතුවෙන් ආර්ථිකයට අවශ්‍ය වන සුවිශේෂී සහාය සැපයීම සඳහා මූල්‍ය අංශය සවිබල ගන්වන අතරම, මූල්‍ය ආයතනවල අභිප‍්‍රායයන් සුරක්ෂිත කිරීම මෙන්ම, එම ආයතනවල තැන්පත්කරුවන් ආරක්ෂා කරගැනීම ඉලක්කකර ගනිමින් විවිධ ක‍්‍රියාමාර්ග හඳුන්වාදීම හරහා මහ බැංකුව විසින් මූල්‍ය පද්ධතියෙහි ස්ථායීතාව පවත්වා ගැනීම තහවුරු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here