Home Hit පාකිස්ථානයේ හෝටලයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර‍යේ ඉලක්කය චීන තානාපතිවරයා බවට සැකයක්

පාකිස්ථානයේ හෝටලයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර‍යේ ඉලක්කය චීන තානාපතිවරයා බවට සැකයක්

304
0

පාකිස්තානයේ ඉතා අස්ථාවර පළාතක් වන බලුකිස්තානයේ අගනුවර වන ක්වේටා හි සුඛෝපභෝගී හෝටලයක් ඉලක්ක කර ගත් කාර් බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන තානාපති නොන් රොංවාස් නැවතී සිටින සෙරීනා හෝටලයට එල්ල කළ ප්‍රහාරයේ වගකීම පාකිස්තාන ටෙහ්රික්-ඉ-තලේබාන් සංවිධානය විසින් භාරගෙන තිබේ.

බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් චීන තානාපති කාර්යාලය ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් සිය ශෝකය පළ කරන ලදි. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ තානාපතිවරයා හෝටල‍යේ නොසිටි නමුත් ආරක්ෂක නිලධාරීන් සැක පල කරන්නේ ප්‍රහාරයේ ඉලක්කය ඔහු වන්නට ඇති බවයි. පාකිස්තානයේ සටන්කාමී කේන්ද්‍රස්ථානයක් වන බලුකිස්තානය, පසුගිය දශක දෙක තුළ එක්සත් ජනපදය විසින් කලාපයේ ත‍්‍රස්තවාදයට එරෙහිව සිදුකරන යුද්ධයට සමගාමීව වඩාත් නොසන්සුන් ප්‍රදේශයක් බවට පත්ව ඇත. 2006 දී සිදුවූ ගෝත්‍රික නායක අක්බාර් බුග්ටි ඝාතනය සම්බන්ධව පාකිස්තාන හමුදාවේ මෑතකාලීන මෙහෙයුම්, රජයට එරෙහි බලුච් ජාතිකවාදී අරගලය තවදුරටත් අවුලුවා තිබේ.

‘පාකිස්තානයේ භූ විද්‍යා සමීක්ෂණ’ වාර්තාවට අනුව බලුකිස්තානයේ ඛනිජ සම්පත් පමණක් ඩොලර් ට්‍රිලියන 50 ක් පමණ වේ. බලුච් බෙදුම්වාදී සටන්කාමීන් විසින් රජය පළාතේ ස්වාභාවික සම්පත් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා කරයි. බලුකිස්තානය පාකිස්තානය සඳහා භූ මූලෝපායික වටිනාකමක් ඇති අතර, ඇෆ්ගනිස්ථානයට හා ඉරානයට මායිම්ව ඇති පළාත සහ ග්වාඩර් වරාය අරාබි මුහුදට ප්‍රවේශය ලබා දෙයි. මෑතකාලීනව එම වරාය චීනයටද උපායමාර්ගික වටිනාකමක් එකතු කර ඇත.

ක්වේටා බෝම්බ ප්‍රහාරය පිළිබඳව තලේබාන් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කිරීමට පෙර බොහෝ දෙනෙක් උපකල්පනය කළේ බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිය බලුකිස්තාන් විමුක්ති හමුදාව මෙම ප්‍රහාරය පිටුපස සිටින්නට ඇති බවයි.

බලුකිස්තානයේ චීන ආයෝජනය ඉස්ලාමාබාද් සහ බීජිං එක්ව සිදු කරන ලද නව යටත් විජිත ව්‍යාපාරයක් ලෙස සලකන බලුකිස්තාන් විමුක්ති හමුදාව, චීනය – පාකිස්තාන ආර්ථික කොරිඩෝව – (CPEC) ඉලක්ක කර ගනිමින් බොහෝ පහරදීම් සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here