Home Hit මොකක්ද මේ නොනගතය?

මොකක්ද මේ නොනගතය?

221
0

මෙම වසරේ නොනගතය අප්‍රේල් මස 13 වන අඟහරුවාදා එනම් අද දින අපරභාග 08 පසුවී විනාඩි 09 සිට පසුදින, එනම්, 14 වන බදාදා දින පූර්වභාග 08 පසුවී විනාඩි 57 දක්වා පවතින බව ලිතෙහි දැක්වේ.

සිංහල සම්ප්‍රදායට අනුව අලුත් අවුරුද්දක් උදා වීම යනු සූර්යයා මේෂ රාශියෙන් ගමන් අරඹා රාශි 12 අවසානයේ එනම් මීන රාශියේ අවසානයට ළඟාවීමට ගතවන දින 365 පැය 15 මිනිත්තු 31 තත්පර 15 ක කාලය නිමාකොට යළි මේෂ රාශියට පිවිසෙන අවස්ථාව ලෙස හැඳින්විය හැකිය.

මේෂ රාශියට පිවිසීම යනු සූර්යයාගේ මධ්‍ය ලක්ෂ‍්‍යය නැගෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබෙන මොහොතයි. ඉහත කී කාල සීමාව සූර්ය වර්ෂයක් වන අතර මීන රාශියේ සිට මේෂ රාශියට පිවිසීම සූර්ය සංක්‍රාන්තිය ලෙස ජ්‍යොතිෂයේ හඳුන්වා ඇත.

හිරු ඊළඟ වර්ෂය ආරම්භ කිරීමට තබන පියවරක් වශයෙන් සැලකිය හැකි මෙම රාශි මාරුව සඳහා ගතවන කාලය ‘නොනගතය’ ලෙස නම් කොට ඇත.

බුදුසරණ: විශේෂාංග | සිරිතට විරිතට මුල්තැන දෙමු

සංක්‍රාන්ති සමය ලෙසද මෙය හැඳින්වේ. පැය 12 මිනිට්ටු 48 ක් වන මෙම කාලසීමාව වසරින් වසරට වෙනස් නොවන සෑම වසරකටම පොදු එකම කාල සීමාවකි. මීන රාශිය හා මේෂ රාශිය අතර හරි මැදට හෙවත් මධ්‍ය ලක්ෂයට පැමිණීමට හිරුට ගතවන කාලය පැය 6 මිනිට්ටු 24 කි. තවත් විදියකින් පවසන්නේ නම් මීන හා මේෂ රාශි 2 අතර ඇති දුරින් අඩක් යාමට ගතවන කාලයයි.

මෙය නොනගතයේ පූර්වභාගය වන අතර ඉතිරි අඩ යාමට ගතවන කාලය වන පැය 6 මි. 24 නොනගතයේ අපරභාගයයි. මෙහිදී සිදුවන්නේ පූර්ව භාගය තුළදී හිරුගෙන් අඩක් මීන රාශියේ වීමත්, අනෙක් අඩ මේෂ රාශියේ වීමත් වන අතර නොනගතයේ අපර භාගය තුළදී ක්‍රමයෙන් හිරු මුළුමනින්ම මේෂ රාශි ගත වීමත්ය.

‘‘නොනගතය’’ යනු කුමක්දැයි විවිධ මත පළවී ඇත. අප කුඩා කල වැඩිහිටියන්ගෙන් අසා ඇත්තේ නැකැත් නොමැති කාලසීමාව නොනගතය ලෙසයි. ඇතැම්හු අදත් එසේ භාවිතා කරන බව දක්නට ඇත. මෙය මුළුමනින්ම වැරදි අදහසකි. නැකැත් 27 නිරන්තරයෙන් උද‌ාවෙමින් නිමාවෙමින් පවත්නා වූ ස්වභාවික ක්‍රියාවලියකි. එවැනි සෑම තත්පරයකදීම කුමන හෝ නැකතක් උද‌ාව පවතී.

නොනගතය ගැන කියැවෙන අනෙක් මතය වන්නේ ශුභ නැකැත් නැති වේලාව යන්නයි. මෙයද සාවද්‍ය මතයකි. නැකතක් ශුභ වීම සඳහා දිනය, නැකත, තිථිය, යෝගය, කරණය යන පංචාංගයට ශුද්ධ වී පැවතිය යුතුය. රාහු කාලයද සැලකිය යුත්තකි. මේ අනුව නැකතේ ශුභ අශුභතාව වසරින් වසරට වෙනස් විය හැකිය.

නොනගතය යන්නෙහි නිවැරදි අරුත කුමක්දැයි පැරණි සෙල්ලිපි අැසුරින් අපට වටහා ගත හැකිය ‘අගත අනගත මතුදිශ ශ්‍යශ දිනෙ’’ යන පාඨය සඳහන් සෙල්ලිපි රැසක් ශ්‍රී ලංකාව පුරා දැකගත හැකිය. පෙර රජ දරුවන් මහා සංඝයා වහන්සේලා උදෙසා ආරාමයක් හෝ ගල්ලෙනක් සකස් කිරීමෙන් පසු එම ස්ථානයෙහි තැන්පත් කරන ලද එම සෙල්ලිපියෙන් කියැවෙන්නේ චතුදිශ (සතර දෙසින්) අගත (පැමිණි) අනගත (නොපැමිණි) ශ්‍යශ (සංඝයා වහන්සේට) දිනෙ (පූජා කරමි) යන්නයි. මේ අනුව නොනගතය යනු නො+අගත+අනගත යන පද ඇසුරින් නිර්මාණය වූ වචනයක් බවත් එහි තේරුම වන්නේ ‘‘පැමිණියේත් නැති නොපැමිණියේත් නැති’’ යන්න බවත් පැහැදිලි වේ.

මෙම කාලසීමාව තුළ වෙහෙර විහාර, කෝවිල් වැනි පූජනීය ස්ථානවලට ගොස් සිදුකරනු ලබන ආගමික කටයුතුවලට අමතරව බුලත් හුරුලු පිරිනමා. තෙල් ගා කරන මව්පිය නමස්කාරය, වැඩිහිටියන් ගුරුවරුන් පිදීම. අසරණයින්ට පිහිට වීම, සෑම ආකාරයකින්ම කරුණාව, මෛත්‍රිය පෙරදැරිව ක්‍රියා කිරීම ආදිය ද සිදු කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here