Home Hit අවුරුද්දට අතේ ගිනිකෙළි පත්තු කරන්න එපා – පුෂ්පා රම්‍යානි ද සොයිසා

අවුරුද්දට අතේ ගිනිකෙළි පත්තු කරන්න එපා – පුෂ්පා රම්‍යානි ද සොයිසා

197
0

උත්සව සමයේ සිදුවන අනතුරු වලින් සියයට 85 ම සිදුවන්නේ පුද්ගල හේතු සාධක මත වන බැවින් උත්සව සමය තුළ සෑම දෙනෙකුම විනය නීතිරීති වලට දැඩිව අනුගතව කටයුතු කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය අවධාරණය කරයි.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කරයි.

අවුරුදු සමයේ ඉහළ යා හැකි අනතුරු වශයෙන් මහා මාර්ග අනතුරු, නිවසේදී සිදුවන අනතුරු, හිංසන ක්‍රියා, ක්‍රීඩා අනතුරු, ගිනිකෙළි අනතුරු, වැටීම් ආදිය අවම කිරීමට මෙන්ම මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවිය හැකි හිංසන, වැටීම් සහ අනෙකුත් අනතුරු ද මෙමඟින් අවම කර ගත හැකිවනු ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

එමනිසා නිවසේ පරිසරය තුළ අනවශ්‍ය පීඩනයක්, අනවශ්‍ය කලබලයකින් තොරව නිසි පරිදි කටයුතු කිරීම තුළින් දරුවන් සහ වැඩිහිටියන් අනතුරට ලක්නොවන බවද ඈ පැවසුවාය. ක්‍රීඩාවන් වල නිරත වන සෑම අවස්ථාවකම සෞඛ්‍ය නීතිරීති සහ කොවිඩ් මාර්ගෝපදේශ වලට ප්‍රකාරව කටයුතු කිරීම ද බෙහෙවින් වැදගත් බව ප්‍රධාන හෙද නිලධාරීතුමිය පෙන්වා දෙනවා.

ක්‍රීඩා අනතුරු පිළිබදව අවධානය යොමු කිරීමේදී තමාට නොගැළපෙන ක්‍රීඩා වලින් වැළකිය යුතු බවද අවධාරණය කළ සොයිසා මහත්මිය ඇතමුන් මැරතන් ධාවනය වැනි ක්‍රීඩා වල නිරත වීමේදී තමාට එම ඉලක්ක වලට යා නොහැකි නම් සහ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිසි අවධානය යොමු නොකිරීම නිසා මරණයට පත්වූ අවස්ථා පවා වාර්තා වී ඇති බව ඇය අවධාරණයකර සිටියි.

ගිනිකෙළි අනතුරු පිළිබඳව අදහස් දක්වමින් සොයිසා මහත්මිය ප්‍රකාශ කර සිටියේ අතේ තබාගනිමින් ගිනිකෙළි දැල්වීම නොකළ යුතු බවත්, කුඩා ළමුන්ට ගිනි කෙළි භාවිතය කිසිසේත්ම සුදුසු නොවන බවත් ය. ගිනිකෙළි දැල්වීමේදී ගිනිකෙලි දැල්වීම දුරස්ව සිදු කොට වහාම එම ස්ථානයෙන් ඉවත් විය යුතු බවත්, යම් අවස්ථාවකදී ගිනිකෙළි නොදැල්විනි නම් එය පරීක්ෂා කිරීමට යා නොයුතු බවද ඇය පෙන්වා දෙයි.

ගිනිකෙළි භාවිතයේදී ප්‍රමිතියක් සහිත ගිනිකෙළි භාවිතා කළ යුතු අතර, නිවෙස් ඇතුළට, තාප්ප ඇතුළට, වාහන ඇතුළට, ඉහළ සිට පහළට අතහැරීමට, සතුන් සිටිනා දිශාවන්ට මෙන්ම මිනිසාට හානිකර ලෙස ගිනිකෙළි භාවිතයෙන් වැළකිය යුතු බව ද ඇය පවසයි.

නිවසේ පරිසරයත් අනවශ්‍ය කලබලයකින් තොරව, පිරිසිදු කිරීම් කර, නිසිපරිදි චාරිත්‍ර ඉටුකර, මත්ද්‍රව්‍ය වලින් තොරව අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ අදිටනින් යුතුව අවුරුදු සැමරිය හැකි නම් කිසිවකුට හානියකින් තොරව ජීවත් විය හැකි බව ද ඈ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here