Home Hit කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අපි තරයේ හෙළා දකිනවා – අගමැති

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අපි තරයේ හෙළා දකිනවා – අගමැති

238

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අපි තරයේ හෙළා දකින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අදට යෙදෙන ජාත්‍යන්තර කාන්ත දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමිනි

එම පණිවුඩය පහතින්

“රටකි, දැයකි, ලොවකි ඇය” යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම සඳහා ශුභාශිංසන එකතු කරනුයේ ඉමහත් සතුටිනි.

ලෝකයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනයක් වෙන් කළ ද සෑම මොහොතක් ම කාන්තා අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බව මාගේ විශ්වාසයයි.

දියණියක, බිරිඳක ලෙස සිය සමාජ වගකීම් නොපිරිහෙළා ඉටු කරන ඇය ලොව උතුම් මව් පදවිය ද හොබවන්නීය. මානව වංශය වෙනස් කළ ශාස්තෘවරුන්ගේ සිට මානව පැවැත්ම සාක්ෂාත් වන්නේ ද ඒ ඔස්සේ ය.

එහෙයින් කාන්තාවන්ට සමාජය තුළ නිසි ගෞරවය නිතැතින් හිමිවිය යුතු ය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් ද කාන්තා අයිතිවාසිකම් සඳහා මුල්තැන ලබාදෙන අතර ඔවුන් දිරිය කතුන් ලෙස සවිබල ගැන්වීම පිළිබඳව නිරන්තර අවධානය යොමු කර තිබේ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙන් ම වෙනස් කොට සැලකීම ද අපි රජයක් ලෙස තරයේ හෙළා දකිමු. ඔවුන්ගේ නැගී සිටීම සමාජ යහපත උදෙසා පාදක වී ඇති අවස්ථා අපි රටක් ලෙස භුක්ති විඳිමින් සිටිමු.

ඉතිහාසයේ විහාරමහා දේවියගෙන් ද නූතනයේ ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් ද ශ්‍රී ලාංකේය කාන්තාවගේ වීරත්වය හා නායකත් පෞරුෂය ලොවට ම විදහාපායි. එම ආදර්ශය අනුව යමින් මෙ රට කාන්තා පරපුර අද වන විට බොහෝ ක්ෂේත්‍රවල වගකීම් දරමින් රටේ ප්‍රගමනයට දායක වී සිටීම මහත් ආඩම්බරයට කරුණකි.

ආර්ථික සමාජයීය හා දේශපාලන වශයෙන් ද කාන්තාවන්ගේ මැදිහත්වීම අපි අගය කොට සලකමු. සමාජයේ කුඩා ම ඒකකය වන පවුල සුරක්ෂිත කිරීමට වෙහෙසෙන කාන්තාව, අවසානයේ මුළු රට ම සුරක්ෂිත කිරීමට දායක වී තිබේ.

විවිධ හේතු මත අද පවා සමාජය තුළ කාන්තාවන්ට මුහුණ පෑමට සිදුව තිබෙන අභියෝග බොහොමයකි. මේ අභියෝගාත්මක ලොව තුළ සෑම කාන්තාවක් ම අවදියෙන් සිටිය යුතු ය. ඔබට ජයග්‍රහණය හෝ පරාජය මෙන් ම යහපත හෝ අයහපත ලැබෙනුයේ ඔබගේ ම සිතුවිලි හා ක්‍රියාවන් අනුව ය.

ඒ නිසා සියලු කාන්තාවන්ට අභියෝගය තෝරාගන්නැයි මම ආරාධනා කරමි. ඔබගේ සාමුහිකත්වයේ දායකත්වය අනුව ගොඩනැගෙන අනාගත මාතෘ භූමිය මෙන් ම දියුණු ලෝකය දෙස සියලු දෙනා බලා සිටින බව සිහිපත් කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය
2021 මාර්තු 08

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here