Home Business ලාෆ් ගෑස් සමාගම කඩාවැටීමේ අවදානමක

ලාෆ් ගෑස් සමාගම කඩාවැටීමේ අවදානමක

1523
LAUGFS Gas

විවිධ හේතු පදනම් කරගෙන පසුගිය කාලයේ දෙවරක් ගෘහස්ත ගෑස් මිල අඩුකිරීම හැරුණු කොට වසර හයක් තිස්සේ ගෑස් මිල සංශෝධනය නොවීමෙන් බලශක්ති ක්ෂේත්‍රයේ නිරත එකම දේශීය සමාගම වන ලාෆ්ස් ගෑස් සමාගම දැඩි අවදානම් තත්වයකට පත්ව ඇතැයි ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ලෝක වෙළඳපොළේ මීට මාස අටකට කලින් ඩොලර් 350 කට තිබූ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අද වනවිට ඩොලර් 625 ත් 650ත් අතර මට්ටමකට ඉහළ නැග තිබීමෙන් තත්වය වඩා දරුණු අතට හැරී ඇතැයිද වෑගපිටිය මහතා ප්‍රකාශ කළේය. මෙම තත්වය හමුවේ පසුගිය මාස හතරේදී පමණක් රුපියල් බිලියනයකට වඩා වැඩි අලාභයක් ලබාතිබෙන බවත් මෙලෙස පාඩු ලබමින් ආයතන පවත්වාගෙන යාමට නොහැකි නිසා තම සමාගම කඬාවැටීමේ අවදානමකට මුහුණ දී සිටින බවත් වෑගපිටිය මහතා සදහන් කර ඇත.

දැනට අලෙවි කරන කිලෝග්‍රෑම් 12.5 සෑම ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 750 පාඩුවක් විඳගැනීමට සිදුව ඇතැයි කී වෑගපිටිය මහතා මුහුණ දී ඇති අවදානමෙන් මිදී සමාගම පවත්වාගෙන යාමට නම් රුපියල් 750කින් ගෑස් මිල සංශෝධනය කලයුතු බව ද ප්‍රකාශ කර තිබේ.

ගෑස් ව්‍යාපාරයේ නියුතු එකම දේශීය සමාගම මෙලෙස දැඩි අර්බුදයකට මුහුණ දී සීන බව තොරතුරු සහිහව පෙන්වා දෙමින් ගෑස් මිල සංශෝධනය කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දිගින් දිගටම ඉල්ලා සිටියත් ඔවුන්ගේ කල්මැරීමේ ප්‍රතිපත්තිය පැවති අර්බුදය උග්‍රකර ඇතැයිද චෝදනා කර ඇත.

දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට සහ ගෑස් ආනයනයට මුදල් නොමැහි වීමෙන් අප කැමති වුවත් අකමැති වුවත් ගෑස් ආනයනයට නොහැකි තත්වයක් ඉදිරි මාස දෙක තුනේදී නිර්මාණය වන බවද වෑගපිටිය මහතා ලංකාදීප පුවත්පතට පවසා ඇත.

රජයට අයත් සමාගමද මේ අර්බුදයට මුහුණ දී සිටින බවත්, එම සමාගමේ තත්වය විමසා බැලීමෙන් රජයට ඉතා හොදින් මේ තත්වය වටහා ගැනීමට හැකිවනු ඇති බවත් වෑගපිටිය මහතා ප්‍රකාශ කර ඇත.

දේශීය ව්‍යාපාර මෙවන් අර්බුදකාරී තැනකට තල්ලුවීම දේශීය ව්‍යාපාරයන් ආරක්ෂා කරනවායැයි කියා බලයට පැමිණි ආණ්ඩුවට නරක නාමයක් එක්කිරීමට හේතුවක් වියහැකි හෙයින් ආණ්ඩුව සාධාරණව මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, ඕනෑම සමාගමක් අලාභ ලබන්නේ කළමනාකරණ දුර්වලතාවයෙන් වුවත් තම සමාගමට අලාභ ලබා අවදානම් සහගත තත්වයකට මුහුණදීමට සිදුවී ඇත්තේ රජය මිළ පාලනයකට යටත් කර මිල නොතකා සිටීමෙන් බව පෙන්වා දුන් වෑගපිටිය මහතා මෙය ඉතා අසාධාරණ සහ අවාසනාවන්ත තත්වයක් යැයිද ප්‍රකාශ කළේය.

ගෑස් ව්‍යාපාරය මුහුණ දී ඇති බරපතළ අර්බුදය සම්බන්ධව ජනපති, අගමැති, වෙළඳ ඇමති, රාජ්‍ය ඇමති ඇතුලු සියලු වගකිවයුත්තන් තොරතුරු සහිතව දැනුවත් කළත් මේ දක්වා කිසිදු සහනයක් නොලැබීමෙන් දේශීය සමාගම් කඩාවැටීමට ඉඩදී ආණ්ඩුව බලාසිටින්නේද යන සැකය තමන්ට මතුවන බවද වෑගපිටිය මහතා ප්‍රකාශ කලේය.

පවතින තත්වය සැලකිල්ලට ගෙන ආන්ඩුව කඩිනම් පියවර නොගතහොත් ආණ්ඩුවේ සමාගම පවා මේ වනවිට මසකට ලබනවා යැයි කියන රුපියල් බිලියනයකට වඩා වැඩි අලාභය ඉදිරියේදී තවත් වැඩිවී ඒ බරද ජනතාව පිට පැටවීමට ආණ්ඩුවට සිදුවන බව වැඇගපිටිය මහතා පෙන්වාදී තිබේ.

ගෑස් මිල සංශෝධනය සම්බන්ධව බලධාරීන් තවදුරටත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් තම සමාගම කඬා වැටීම සම්බන්ධව 25,000ක් වන එහි කොටස්කරුවන්ට වගකීමට සිදුවන්නේ තමන්ට බව ද වෑගපිටිය මහතා ප්‍රකාශ කර ඇත.

චමින්ද මුණසිංහ (ලංකාදීප පුවත්පත )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here