Home Hit KP නිදහස් කළ ආකාරයටම ආරක්ෂක අංශ සාමාජිකයනුත් ජාත්‍යන්තරයෙන් නිදහස් කරන්න

KP නිදහස් කළ ආකාරයටම ආරක්ෂක අංශ සාමාජිකයනුත් ජාත්‍යන්තරයෙන් නිදහස් කරන්න

460

·    මානව හිමිකම් කොමිසම ඉදිරියේ අපි ජයග්‍රහණය කරයිද ? පරාජය වෙයිද ?
·        ශ්‍රී ලංකාවට නැවතත GSP සහනය අහිමිවෙයිද ?
·        යුධ අපරාධ කළා යැයි ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට පමණක් චෝදනා කරන්න බෑ
·        වාගාඩම්බර කතාවලින්, ගැලරියට ගහන කතාවලින්, බොරු වීර ක්‍රියාවලින් මේක ගොඩගන්න බෑ

එල්ටීටීඊ සාමාජිකයන් 12,600 සහ කුමරන් පද්මනාදන් නිදොස් කළ ආකාරයටම එල්ලවන චෝදනා වලින් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයනුත් නිදහස් කළ යුතු බව පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

පුදුමාතලන් අවසාන සටනේදී යටත් වුණු 12,600 ක් වූ එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්තාපනයෙන් පසු මුදුහැරීමට කටයුතු කළේ නම්, ප්‍රභාකරන්ගේ මරණෙන් පස්සෙ එල්ටීටීඊ සංවිධානයේ නායකයා ලෙස ඔවුන් පිළිගත් කුමරන් පද්මනාදන් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයකට ඉදිරිපත් නොකොට නිදහස් කළේ නම්, යුධ අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවේ පසුවන ආරක්ෂක අංශ සමාජිකයන්ද නිදහස් කිරීමට කටයුතු කළයුතු බවයි හිටපු අමාත්‍ය, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, අද(04) ‘ජිනීවා මානව හිමිකම් සැසිය, රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හා අපේ යෝජනා’ යන මැයෙන් 43 වන සේනාංකය විසින් පැපිලියාන 43 සේනාංකය කාර්යාලයේ සංවිධාන කර තිබූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

එහිදී මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා,

ශ්‍රී ලංකාව නැවත වතාවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් කිසියම් ආකාරයකට ඡන්ද විමසීමකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එම යෝජනාවෙන් අපි ජයග්‍රහණය කරයිද ? පරාජය වෙයිද කියල දැන්ම අනාවැකි කියන්න බෑ. නමුත් අපිට බරපතල ප්‍රතිවිපාක මේ හා සමඟ ලැබෙන්න නියමිත බව නම් පැහැදිළියි. මේ යෝජනාව බොහෝ දුරට 2009 මැයි 18 වෙනිදා අවසන් වෙච්ච බෙදුම්වාදී ත්‍රස්වාදී ගැටුමත් එක්ක ශ්‍රී ලංකා යුද හමුදාව යුධ අපරාධ කළාය කියන පදනමෙන් ඇති කරන ලද යෝජනාවක්. මේ යෝජනාව කලිනුත් ගෙනාවා. අපි පරාජයට පත්වුණා. අපට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගැණුනා.විශේෂයෙන්ම අපේ අපනයනවලට GSP සහනය ලබාදීම යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් ප්‍රතික්ෂේප කළා.  එමඟින් ඒවා මත යැපිච්ච ආර්ථිකයක් තිබුණ, ඒ ආර්ථිකයේ යෙදිච්ච පිරිස්වලට ප්‍රශ්න ඇති වුණා.  නැවතත් එවැනි තත්ත්වයක් උදාවෙයිද කියන ප්‍රශ්නය මතුවෙනවා,

2015 පත්වුණු ආණ්ඩුව එම යෝජනාවලට සම අනුග්‍රහකත්වයක් දක්වලා යම් යම් දෑ ක්‍රියාත්මක කරන්න ගිහිල්ල නැවත ඒ GSP සහනය ඇමෙරිකා එක්සත් ජනපදයෙත් යුරෝපා සංගමයෙත් දිනාගත්තා. දැන් එයට යම් අභියෝගයක් අපි මේ යෝජනා සම්මතයෙන් පරාජයට පත්වුණොත් අපිට ඇතිවෙයිද කියන ගැටළුව අප ඉදිරියේ තිබෙනවා. මේක සමස්ථ ජනතාවටම බලපාන ප්‍රශ්නයක්.

මේකට විසඳුමක් අපි කණ්ඩායමක් 2018 දි පූර්ව වශයෙන් යෝජනා කළා. එහිදී අපි කිව්වෙ දැනටමත් මේ ගැටුම අවසන් වෙලා අවුරුදු 12 ක්. මේ ගැටුමට සම්බන්ධ පාර්ශවයන් පිළිබඳව කතා කරද්දි අපි බලන්න ඕන යම්කිසි ආකාරයක යුක්ති සහගත භාවයක් තියෙනවද මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කියල. උදාහරණයක් හැටියට එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් යුද්ධයෙන් ඇතිවුණු ගැටුම්, ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය හෝ වෙනත් සිදුවීම් වලට අත් අඩංගුවේ ඉන්නවා. ශ්‍රී ලංකා යුධ හමුදාවේ පිරිසුත් ඉන්නවා. මෑතදී නිදහස් කරපු සුනිල් රත්නායක එවැන්නෙක්.

මේ ක්‍රියාදාමය යන අතරේ අපිට පේනවා, ජාතික ජාත්‍යන්තර වශයෙන් එල්ටීටීඊ යට අවි සැපයුම් කළ, යුද්ධයේ අවසන් මොහොතේ ප්‍රභාකරන්ගේ දිවි ගලවාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මැදිහක්වීම් කළ, එක්සත් ජනපදය හරහා මැදිහත්වීම් කළ, ප්‍රභාකරන්ගේ මරණෙන් පස්සෙ එල්ටීටීඊ සංවිධානයේ නායකයා වුණු, කුමරන් පද්මනාදන් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයකට ඉදිරිපත් නොකොට සිටීම. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් සිදුවෙන්නෙ නෑ. ඒ වගේම එල්ටීටීඊ සංවිධානයෙන් වෙන්වෙලා ගිය, ප්‍රබල ත්‍රස්තවාදී ප්‍රහාර ගණනාවකට සම්බන්ධ වුණු විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් වැනි අය සම්බන්ධයෙනුත් කිසිම අධිකරණ ක්‍රියාමාර්ගයක් නෑ. ඒ වගේම පුදුමාතලන් අවසාන සටනේදී යටත් වුණු 12,600 ක් එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්තාපනයෙන් පස්සෙ මුදාහැරල තියෙනවා. ඒ අනුව ඒ අයටත් කිසිම නීතිමය ක්‍රියාවලියක් නෑ. ඒ නිසා යම්කිසි ආකාරයකින් මේ යුධ ගැටුමේදී යුධ අපරාධ කළා යැයි ශ්‍රී ලංකා යුධ හමුදාවට පමණක්, ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට පමණක් චෝදනා ඉදිරිපත් කරන්න බෑ. එසේ කරන්නේ නම්, එල්ටීටීඊ සමාජිකයන් 12,600 ත්, කුමරන් පද්මනාදනුත් අත්අඩංගුවට අරගෙන අධි චෝදනා පත්‍ර සකසා ඒ පිලිබඳව විමර්ශනය කිරීමට කටයුතු කරන්න ඕන. අවුරුදු 12 කට පස්සෙ එවැනි කටයුත්තක් කිරීම අපහසු බව පැහැදිළියි. එවැනි කටයුත්තක් කිරීමෙන් මේ පවතින සංහිඳියාවත් බිඳ වැටෙන බව මේ ක්‍රියාදාමයේදී අප අමතක කරන්න හොඳ නෑ. ඒ පාර්ශවයන් ගැන කිසිවක් කරන්නේ නැතිව, මේ තනි පාර්ශවයක් ඉලක්ක කර ගැනීම මගින් ලංකාවේ ජනතාව තුළ දැවැන්ත අසහනයක්, ඒ වගේම දැවැන්ත ආකාරයේ වෛරකාරී හැඟීමක් ඇතිවීම වැළැක්විය නොහැකියි. ඒ වගේම ශ්‍රී ලංකා යුධ හමුදාවේ පිරිස් අතර නොසන්සුන්තාවයක් ඇතිවීම වැළැක්විය නොහැකියි.

මේ සඳහා අපේ යෝජනාව ඉතාම සරලව ගත්තොත්, ඉහත සිදුවීම ක්‍රියාදාමය දැන් අප අමතක කළයුතු කාරණයක්. විශේෂයෙන්ම අත්අඩංගුවේ ඉන්න ආරක්ෂක අංශ සාමාජිකයෝ, මේ යුධ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ අපරාධ කරපු අය වෙන්කොට ගන්න ඕන. ත්‍රීකුණාමලයේ සිසුන් 11 දෙනා පැහැරගැනීම වැනි යුධ ක්‍රියාවලියට සම්බන්ධ යම් යම් දෑ පාවිච්චි කර, කරපු පෞද්ගලික අපරාධ, කප්පම් ගැනීම්, ඝාතනයන්, වගේ ඒව වෙනම ගන්න ඕන. ඒ වගේම එල්ටීටීඊ සාමාජිකයන්ගෙනුත් ඒ ප්‍රශ්න ඒ විදියටම ගන්න ඕන. ත්‍රස්තවාදයේදී එල්ටීටීඊ නායකයින් විසින් නියෝග දීල සිදුකරන ලද අපරාධ තිබෙනවනම් ඒ අය වෙනමත්, තමන් පෞද්ගලිකව එල්ටීටීඊ එකේ ශක්තීන් පාවිච්චි කරල කරපු පෞද්ගලික අපරාධ තිබෙනවනම් ඒවත් අපි වෙන වෙනම ගන්න ඕන. ශ්‍රී ලංකා යුධ හමුදාවෙත් කෙලින්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා අණදෙන මූලස්ථානය විසින් යම් යම් කාර්යයන් සඳහා කරන ලද නියමනයන් ක්‍රියාත්මක කරන්න ගිහිල්ල සිදුවෙච්ච ඝාතන හෝ ඊට සමාන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි හඳුනාගෙන තිබෙන, දැන් නඩුදාල තිබෙන  හෝ  යම්කිසි පිරිසකට නඩු දාන්න යනවනම් ඒ පිරිස වෙනමත්, එල්ටීටීඊ නායකත්වය විසින් අණ දීල සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් එවැනි ආකාරයට නඩු දාන්න යනවනම් හරි, නඩු දාල තිබෙනවනම් හරි එවැනි පිරිසුත් වෙන්කොට හඳුනාගන්න ඕන. පුද්ගලික අපරාධ නඩු ඉදිරියට ගෙනයන්න ඕන.

ඉතාම සරලව ගත්තොත් අපි මේ දෙපාර්ශවයේම අය, සන්නද්ධ හමුදාවේ අණ මත ක්‍රියාකරපු අයත්, එල්ටීටීඊ නායකයින්ගේ අණමත ක්‍රියාකරපු අයත්, මේ පිරිස 12,600 ගෙදර යැව්ව වගේ, කුමරන් පද්මනාදන් ගෙදර යැව්ව වගේ අපි මේ සියලු දෙනාට පොදු සමාවක් දීල ගෙදර යවන්න ඕන. මේක ලංකාවට අමුතු යමක් නෙමෙයි.

1989 කැරැල්ලට සම්බන්ධ වෙච්ච, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ මියගියා තමයි, නමුත් ඊට සම්බන්ධ බරපතල සිදුවීම් වලට සම්බන්ධ පිරිස් බෝහෝ දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදයට එන්න ඉඩ දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කළා. ඒනිසා මේ ක්‍රියාවලිය බොහොම විවෘතව අපි සිදු කරන්න ඕන. සිදුකරල මේ දෙපිරිසටම පොදු සමාවක් දීල ඔවුන්ට නිදහසේ කටයුතු කරන්න ඉඩකඩ ලබාදෙන්න ඕන. ඒ වගේම ලංකාණ්ඩුව විශේෂයෙන්ම මේ පසුගිය කාලය තුළ විරුද්ධවාදීන් ඉලක්ක කරගෙන දේශපාලනික වශයෙන් කටයුතු කිරීමත්, යම් යම් ආගමික අසහනයන් ඇතිවන ආකාරයට ඉතාම මුග්ධ අමනෝඥ ආකාරයට හැසිරීමත්, ඒ වගේම එම සිදුවීම් ජාත්‍යන්තර තලයේ කරලියට ආවහම ඒවාට ඉතාම මුග්ධ විදියට පිළිතුරුදීමත්, ලංකාව තුළ දෙබිඩි ප්‍රතිපත්තියකින් කටයුතු කිරීමත් නිසා මේ රටේ ප්‍රතිරූපය, විදේශ රටවල් ඉදිරියේ බරපතල ලෙස විනාශ වෙනවා.

මෙම පොදු කාරණයේදී පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහභාගීත්වය අවශ්‍ය කරනවා. ඉන්දියාවට මෙවැනි චෝදනාවක් ආපු වෙලාවෙ, ඉන්දිරා ගාන්ධි මැතිණිය, කාශ්මීරයේ ඇතිවෙච්ච ප්‍රශ්නවලදි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ කරුණු දක්වන්න යැව්වෙ විපක්ෂ නායකවරයා. ඒ අය අතරේ ඒ පිළිබඳව එකඟතාවයක් තිබුණා. මේ තනි මතයට, උද්ධච්ච ආකාරයට, තනියෙන් ක්‍රියාකරන්න ගිහිල්ල බොහොම බරපතල ප්‍රශ්න වලට රටට මුහුණු දෙන්න පුළුවන්. මොකද ලංකාවේ ජනතාවට මාධ්‍ය සංදර්ශන පවත්වල, ජාතිය ආගම බේරගන්නවා යැයි පපුවට අත ගහගෙන ඒ විදියට ඡන්ද කරනවා වගේ විදේශ රටවල ඡන්දය ලබාගන්න බෑ, අපි දැන් කිහිප වතාවක් මේකෙන් මට්ටු වෙලා තියෙන්නේ. ඒ නිසා ජාතන්තර බලපෑම් පැමිණුනොත් අපේ රටේ ජනතාවට ආර්ථික වශයෙන් බලපානවා. කෝවිඩ් එක නිසා දැනටමත් අපහසුතාවයට පත්වෙලා තිබෙන අපේ අපනයන ක්ෂේත්‍රය, අපේ සංචාරක ක්ෂේත්‍රය මේ තුළින් තවත් අපහසුතාවයට, අවමානයට ලක්වෙනවා.

විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිට අභියෝග කළා වගේ, වාගාඩම්බර කතාවලින්, ගැලරියට ගහන කතා, බොරු වීර ක්‍රියාවලින් මේක ගොඩගන්න බෑ, රාජ්‍ය තාන්ත්‍රිකව සබුද්ධිකව, විශේෂයෙන්ම විපක්ෂයත් එක්කත් කතා කරල සාමූහික ප්‍රයත්නයක්, සාමූහික එකඟතාවයක් ඇතිකරගෙන කටයුතු කළ යුතුයි. එසේ නොවුනොත් රට සමස්ථයක් හැටියට තව තවත් අපහසුතාවයට ලක්වීම විතරයි වෙන්නෙ. ඊළඟ පළාත් සභා මැතිවරණය තියනවයි කියල තියෙනවා මැයි මාසේ, නැවත වතාවක් විදුලි පුටුව පිළිබඳ කතාව අළු සුද්ධ කරල අරගෙන ඒ පළාත් සභා මැතිවරණයේදී ඡන්ද ලබාගන්න වැඩකරන්න පුළුවන් අපේ පාලකයෝ, ඒ නිසා මේක දේශපාලන පා පන්දුවක් දේශීය වශයෙන් කරගන්නේ නැතිව රට ගැන, රටේ අනාගතය ගැන කල්පනා කරල බලල සබුද්ධිකව මෙයට පිළිතුරු දෙන්න කටයුතු කරන්න. අපේ ආරක්ෂක අංශවල ගරුත්වයත්, ඒ වගේම සමස්ථ සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනාගේ සංහිඳියාව සහ ඒ අය අතර දැනට පවතින සාමකාමී වාතාවරණය බිඳ වැටෙන සුළු කිසිම ආකාරයක ක්‍රියාවලියක නොයෙලී සිටින්න අපි සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්න ඕන. එහෙම නොවුනොත් අපිට බරපතල ආර්ථික සමාජීය ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

මේ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඉදිරි කාලයේදී සෑම කලාපයකම, සෑම පලාතකම දැනුවත් කිරීම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපිට අඛණ්ඩවම මේ කටයුත්ත ඇදගෙන යන්න බෑ, මේ අපරාධ පිළිබඳ කතාව කිය කිය අපට මේ රටට ඉදිරියට යන්න බෑ, මෙය අමතක කරල ඉදිරියට යන්න ඕන. සියලු දෙනා භයානක වැරදි කරපු බව අපි මතක තබාගත යුතුයි. කිසිම පැත්තක සාන්තුවරු නැති බව අප මතක තබාගත යුතුයි.

කුමාරන් පද්මනාදන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නැතිනම් ඇයි මේ අනෙක් අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න අපි කාලය නාස්ති කරන්නේ. ඒ නිසා මෙය අමතක කර මෙවැනි වැරදි නැවත නොවෙන්නට සංවිධානාත්මක වැඩපිළිවෙළක් හදල ඉදිරිපත්කරල කටයුතු කල යුතුයි. අතුරුදහන්වූවන් ගැන පරණගම කොමිසම වගේ කොමිසන් වලින් අතගගා ඉන්නෙ නැතිව නිවැරදි තාරතුර අනුව මරණ සහතික නිකුත් කිරීම කළ යුතුයි. විදේශගතවෙලා ඉන්න අය ගැන අපිට කරන්න දෙයක් නෑ. මේ ප්‍රශ්නය නැවත් නොඑන්නට විසඳා අවසන් කළ යුතුයි කියන එක තමයි අපේ ඉල්ලීම. ඒ වෙනුවෙන් අපේ ඉදිරියේදීත් කැපවෙලා කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here