Home Hit සා/පෙ විභාග මධ්‍යස්ථාන තුළ අනවශ්‍ය බාහිර පාර්ශව රැසක් – ගුරු සංගමයෙන් පැමිණිලි

සා/පෙ විභාග මධ්‍යස්ථාන තුළ අනවශ්‍ය බාහිර පාර්ශව රැසක් – ගුරු සංගමයෙන් පැමිණිලි

250

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ කල්දැමුණු සාමාන්‍ය පෙළ විභාගය අද (01) ආරම්භ වූ අතර ආරම්භ දිනයේදීම බාහිර පාර්ශව රැසක් විභාග මධ්‍යස්ථාන තුළ රැඳී සිටින බවත් එය වැරදි ක්‍රියාවක් බවත් ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි.

අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මෙවැනි අතිශය තරඟකාරී විභාගයක විභාග වංචා අවම කරගැනීම සඳහා විභාගය ඇරඹුණු අද දිනයේම මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාට පැමිණිලි කර තිබෙන බවයි.

ප්‍රථමාධාර ලබා දීම,උෂ්ණත්වය බැලීම ආදී දේ සඳහන් කරමින් බාහිර පාර්ශව රැසක් විභාග මධ්‍යස්ථාන කාර්යාල තුළ රැඳී සිටින බවත්, එය වහාම වළක්වා ගත යුතු දෙයක් බවත් ස්ටාලින් මහතා පෙන්වා දෙනවා.

”මෙලෙස බාහිර පාර්ශව විභාග මධ්‍යස්ථාන වල කාර්යාලවල රැඳී සිටීම පැහැදිලිවම විභාගයට කරන බලපෑමක්. හොඳම උදාහරණය තමයි ගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයේදී මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිවරයා පාසලේ විදුහල්පති කාර්යාලයේ ඉඳගෙන ප්‍රශ්න පත්‍ර අරගෙන ඒ ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන ක්‍රමවේදයන් පිළිබඳව කතා කරද්දී විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිහිල්ලා පරීක්ෂා කරලා අහුවුණා.

විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම විදුහලට යන විට විදුහල්පතිතුමා  එක්ක බාහිර පාර්ශව කාර්යාල කාමරය ඇතුලේ ඉන්නවා. අපි දන්නවා එතන බරපතල ප්‍රශ්නයකුත් ඇතිවුණා. නමුත් අපි දන්නවා එවැනි සිදුවීම්වල පරීක්ෂණ තවමත් අවසානයක් නැහැ. එවැනි දේවල් ඇති වෙන්නේ මෙවැනි ආකාරයට බාහිර පාර්ශවයන් විභාග මධ්‍යස්ථාන තුළ රැඳෙන්න අවශ්‍ය පසුබිම සකස් වීම නිසා.”

මෙලෙස බාහිර පාර්ශව විභාග මධ්‍යස්ථාන තුළ රැඳී සිටීමෙන් ගුරුවරු හා දරුවන් දැඩි පීඩනයකට පත්වන බවත් ඒ අනුව බාහිර පාර්ශව විභාග මධ්‍යස්ථාන වෙත ඇතුල් වීම වැලැක්වීම සඳහා විධිමත් පියවරක් ගත යුතු බවත් ස්ටාලින් මහතා කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here