Home Hit පාරිභෝගිකයා,ගොවියා මෙන්ම සහල් මෝල් හිමියාද ආරක්ෂා කරනවා

පාරිභෝගිකයා,ගොවියා මෙන්ම සහල් මෝල් හිමියාද ආරක්ෂා කරනවා

282

සහල් මිළ වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිසේත් වත්මන් රජයේ අවධානය යොමු නොකරන බවත් පාරිභෝගිකයා මෙන්ම ගොවියා සහ සහල් මෝල් හිමියා ආරක්ෂා කිරීම සඳහා රජයේ මැදිහත් වීම උපරිම අයුරින් සිදු කරනු ලබන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා

ඒ මේ සම්බන්ධව අද (01) පැවති සාකච්ඡාවක් අමතමින්.

මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටි සහල් මෝල් හිමියන් සිය ගැටලු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ මේ වන විට ගොවීන් විසින් වැඩි මිළකට වී අළෙවි කිරීම සඳහා කටයුතු කරමින් පවතින බැවින් සහල් නිෂ්පාදන කටයුතු සඳහා දැඩි බලපෑමක් ඇතිවී ඇති බවයි.

සුළු පරිමාණ සහල් මෝල් හිමියන් විසින් ප්‍රකාශ කළේ, මහා පරිමාණ මෝල් හිමියන් විසින් සත දහයක් හෝ වැඩියෙන් ගොවීන් වෙත ලබා දෙමින් වී ලබා ගැනීමට කටයුතු කිරීම තුළ මෙවන් තත්වයක් ඇති වන බවත් එය පාලනය කිරීමට රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වන බවයි.

එමෙන්ම මෙම අවස්ථාවේදී නාඩු වී කිලෝවක් සඳහා රු.50/= ක උපරිම මිළක් ද සම්බා වී කිලෝවක් සඳහා රු.52/=ක උපරිම මිළක්ද (වියළීමෙන් පසු) මිළ දී ගැනීමට මෝල් හිමියන් එකඟ වූ අතර මෙහිදී ඔවුන් තෙත වී කිලෝවක් රු.40/=ක රජයේ සහතික මිළකට මිළ දී ගැනීමට ද එකඟ විය.

මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා, මෙවන් අවස්ථාවකදී රජයේ හා ව්‍යවසායකයන්ගේ එකඟතාවයන් ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව අවධාරණය කරන ලද අතර සහල් මෝල් හිමියන්ගේ ගැටළු, කැබිනට් මණ්ඩල හමුවේදී අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ අමාත්‍යවරුන්‌ගේ අවධානයට යොමු කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

කෙසේ වුවත් ඉදිරි වසර තුනක් සඳහා සහල් මිළ වැඩි කිරීමට කිසිසේත් ඉඩක් නොදෙන බවට වත්මන් රජය ගෙන ඇති තීරණය ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ මහා පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් රැසක් ද සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here