Home Hit පෑලියගොඩ පොලිසිය නීති ශිෂ්‍යයෙකුට දරුණු ලෙස පහර දීමේ සම්පූර්ණ සිද්ධිය (PHOTOS)

පෑලියගොඩ පොලිසිය නීති ශිෂ්‍යයෙකුට දරුණු ලෙස පහර දීමේ සම්පූර්ණ සිද්ධිය (PHOTOS)

484
0

නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වන මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී සහ පොලිස් වාහනයක් තුලදී බරපතල ලෙස පහරදී තුවාල සිදු කර ඇත.

සිය ජ්‍යෙෂ්ඨ නීතිඥයාගේ සේවාදායකයෙකු වෙත කෑම පාර්සලයක් රැගෙන ගිය අවස්ථාවේ දී පෑලියගොඩ පොලීසියේ ලින්ටන් සිල්වා සහ තවත් පොලිස් නිලධාරින් 10 දෙනෙකු විසින් පොළු සහ අතින් පයින් මෙම පහරදීම සිදු කර ඇත.

සිය සේවාදායකයෙකුව අත්අඩංගුව ගැනීම හේතුවෙන් මිගාර ගුණරත්නගේ සහෝදරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතිඥයා වන නීතිඥ චරිත ගුණරත්න මහතා පෙබරවාරි 23 දින පෑලියගොඩ පොලිස් ස්ථානයට ගොස් ඇත. එහි දී ලින්ටන් සිල්වා යන පොලිස් නිලධාරියා සිවිල් ඇදුමෙන් සහ සෙරෙප්පු දෙකකින් සැරසී පැමිණ ඔහුගේ සේවාදායකයාට තර්ජනය කර ඇත.

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මත සැකකරුව අත්අඩංගුවට පත්වී තිබුණි.

‘‘අනෙක් සැකකාරයොන්ට චෝදනා ගොඩක් තියෙනවා. ඒ සිද්ධියකට සම්බන්ධ කරලා තමුසේත් ඇතුලට දානවා යැයි‘‘ යැයි එම ස්ථානයේ සිටි පිරිස ඉදිරියේම ලින්ටන් සිල්වා ප්‍රකාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් නීතිඥවරයා පොලිස් නිලධාරියාට සිය විරෝධය පළ කර ඇත.

සිවිල් ඇදුමෙන් සිටි පුද්ගලයාට ‘සාජන්‘ යැයි නීතිඥ චරිත ගුණරත්න විසින් අමතා ඇත. පසුව අනාවරණය වී ඇත්තේ ඔහු CI ලින්ටන් සිල්වා බවයි. ලින්ටන් සිල්වා විසින් නීතිඥ චරිත ගුණරත්නට බැන වැදුණු බවත් ඔහුගේ නීතිඥ හැඳුණුම්පත රැගෙන එහි විස්තර සිය සටහන් පොතේ සටහන් කර ගත් බවත් චරිත ගුණරත්න පවසයි.

මෙම සිද්ධියෙන් දින දෙකකට පසුව, පෙබරවාරි 25 දින, චරිත ගුණරත්න නිතිඥවරයා ගේ උපදෙස් මත ඔහුගේ රුවට බොහෝ සමානකම් ඇති, ඔහුගේ සහෝදරයා වූ නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න විසින් සැකකරුට ආහාර පාර්සලයක් රැගෙන පොලීසියට ගොස් ඇත.

එහි දී මිගාර ගුණත්නට පොලිස් නිලධාරීන් විසින් “මෙතන ප්‍රශ්න ඇතිකළේ තමුසේ නේදැයි‘‘ යි අසා පහර දී ඇත.

කෙසේ නමුත්, පහරදෙන අතර මිගාර ගුණරත්න යනු හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගේ පුතා බව කිසිවෙකු විසින් පොලීසියට පවසා ඇත. ඒ සමඟම, පොලිස් නිලධාරීන් විසින් මිගාර ගුණරත්නව අංක NE-0825 දරණ පොලිස් ජීප් රථයෙන් රැගෙන ගොස් නැවත පහර දී ඇත.

සිද්ධිය සමතයකට පත් නොවන්නේ නම්, රාජකාරියට බාධා කිරීම යටතේ අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය මිගාර ගුණරත්නට තර්ජනය කර ඇත. බරපතල තුවාල සහිතව රාගම රෝහල වෙත ඇතුළත් කළ මිගාර ගුණරත්නට ටිකට් කපා රෝහලෙන් පිටවීමට ඉඩ දීම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කොට ඇති අතර, තුවාලකරුගේ තත්වය පිළිබඳවත් පොලීසියේ බලපෑම පිළිබඳවත් වෛද්‍යවරුන් විසින් සටහන් තබා ඇත.

පොලීසියක් තුල සිදුවන පහරදීම්, පොලිස් නිලධාරින් විසින් සිදු කරන පහරදීම් බොහෝමයක් අවසන් වන්නේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ වෙනත් අපරාධ චෝදනාවක් සැකකරුවන්ට එරෙහිව ගොනු කිරීමෙනි. නීතිඥයින්ට තර්ජනය කිරීම හා පහරදීම දක්වාම තත්වය වර්ධනය වීම මෙහි දරුණුකම වඩාත් හොඳින් පෙන්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here