Home fact check කටුනායකදී මෑතක ආරම්භ වුනේ දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාව ද?

කටුනායකදී මෑතක ආරම්භ වුනේ දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාව ද?

318

ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කළ බවට මීට මාස කිහිපයකට පෙර වාර්තා වුනද ඒ පිලිබඳ අවසන් තීරණයක් මෙතෙක් ලබාගෙන නැහැ. මෙවන් පසුබිමක දකූණු ආසියාවේ විශාලතම මස් සැකසීමේ කර්මාන්තශාලාව කටුනායක ආයෝජන කලාපයේදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන්, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් විවෘතවු බවක් පැවසෙන පුවතක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.

මෙම පුවත පාදක කර ගනිමින් හුවමාරු වූ සටහන් රැසක් හැඟවීමට උත්සාහ දරා තිබුනේ දකුණු ආසියාවේ ලොකුම මස් සැකසුම් කර්මාන්තශාලාව ලංකාවේ ආරම්භවු බවක්. එය ප්‍රධාන වශයෙන්ම ගව මස් සැකසීම සඳහා යොදාගන්නා බවක් ද එම කර්මන්තශාලවට අවශ්‍ය මස් සපයා ගැනීමට මෙරට තුළ විශාල ලෙස ගව ඝාතන සිදුවනු ඇති බවක් ද එසේ සමාජ මාධ්‍ය තුල සංසරණය වන සටහන් කිහිපයක්ම මඟින් පෙන්වා දීමට උත්සාහ දරා තිබුණා.

මේ පිළිබඳ කළ විමර්ෂණයකදී පැහැදිලි වී ඇත්තේ දකුණු ආසියාවේ මීට වඩා බෙහෙවින් විශාල මස් ආශ්‍රිත ආහාර සැකසීමේ කර්මාන්තශාලා පවතින අතර කටුනායක දී ආරම්භ වූ ආහාර සැකසුම් කර්මාන්තශාලාවේ ගව මස් ආශ්‍රිත ආහාර නිෂ්පාදන සඳහා බොහෝදුරට යොදාගන්නේ ආනයනික ගව මස් මිස ලංකාවෙන් ලබාගන්නා ගව මස් නොවන බවයි.

සමාජ මාධ්‍ය සටහන් :

“ආසියාවේ විශාලතම මස් කර්මාන්තශාලාව සිරිලකේ. අපි රැවටුනා නෙමෙයි උබලව විශ්වාස කළා.” වදන රෝපනය කර Anuradha Wijesooriya නමැති ෆේස්බුක් ගිණුමක් හඬාවැටෙන ගවයෙකුගේ සේයාරුවක් ද සහිතව ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරීශීලනය කරන්නන් දහසකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණා. තවත් මෙවැනි සටහන් කිහිපයක් ම දක්නට ලැබුණි

තවද Rally For Animal Rights & Environment- RARE නමැති ෆේස්බුක් පිටුවක “දකුණු ආසියාවේ ලොකුම හරක් මස් සැකසුම් ඒකකය ලංකාවේ ආරම්භ කෙරුනා. හරක් මස් සහ කිරි බීම නවත්තන්න ඕනෙ ගව කර්මාන්තය නවත්වන්න ඕනේ නම්. කිරි බි බී හරකා මරණ එක නවත්වන්න බැහැ. කිරි කර්මාන්තය නිසා තමයි පැටව් බිහිවෙන්නෙ. එළදෙනකට කිරි එරෙන්නෙ නැහැ පැටියෙක් නැතුව” කථාංගය සහිතව සටහනක් දක්නට ලැබුණා.

එම සටහන් සඳහා ඩේලි මිරර් පුවත්පතේ පළවූ පුවතක ඡායාරුපයක් සමඟ තවත් ඡායාරුප පෙළක් යොදාගෙන තිබුණා. මෙම සටහන විවිධ මුහුණුවරින් ෆේස්බුක් පිටු රාශියක ඉදිරිපත් වී ඇති අයුරු නිරීක්ෂණය විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම පුවත පිළිබඳ පළවූ සටහන් පරීක්ෂා කිරීමේදී රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ට්විටර් පණිවුඩයක් දැකගනන්ට ලැබුණා. එහි දක්වා තිබුනේ ගිල්ස් සමාගමේ අගය එකතු කිරීමේ කර්මාන්තශාලාවක් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විවෘත කළ බවක්. එම සටහන පහතින්.

ගිල්ස් සමගම :

මේ අනුව අප ගිල්ස් සමාගම පිළිබඳව අනතර්ජාලයේ සෙවීමක් කළෙමු. එම සමාගමේ නිර්මාතෘ ගුණරතන ද සොයිසා යොදා තිබු සටහනක දක්වා තිබුනේ තත්වයෙන් උසස් විශේෂිත නිපයුම් සඳහා වෙළඳපලේ ඉල්ලුම සපිරීම සඳහා කුඩා ව්‍යවසායක් ලෙස ආරම්භ කෙරුණු ගිල්ස් සමාගම අද සීඝ්‍ර දියුණුවක් ලබා ඇත. පසුගිය වසර 10 තුල එහි අළෙවිය 100%කින් වර්ධනය කර ගැනීමට සමත් වූ බවත් වු අතර අධිශීත කළ ආහාර සකසන ආයතනයක් ලෙස නම් දරා ඇති බවත් සඳහන් කර තිබුනා.

සොයිසා පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වී ඇති මෙම ව්‍යාපාර ආයතනය පිලිබඳ විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියේ ද සඳහන්. ශ්‍රී ලංකා ගුවන් සේවය, පීසා හට්, මැක්ඩොනල්ඩ්ස්, ෂැන්ග්‍රි-ලා වැනි ආයතන සඳහා ආහාර නිෂ්පාදන සපයන බවත් FSCC 22000 සහ SLS සහතික ලබා ඇති බවත් එහි සඳහන්.

ගිල්ස් ආයතනයේ කළමනාකාරිත්වය සිදුකල පැහැදිලි කිරීම

වැඩි දුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ගිලස් සමාගමේ සභාපති රොෂාන් ද සොයිසා සහ සාමාන්‍යාධිකාරි චමල් සිල්වා මහතුන් සම්බන්ධ කරගනිමින් වැඩිදුර විස්තර විමසා සිටියා. සමාගමේ පසුබිම පිළිබඳව මෙන්ම එහි නිපයුම් ගැන ද විස්තරයක් අපට ලැබුණු අතර පහත දැක්වෙන්නේ ගිල්ස් ආයතනය සහ ඔවුන්ගේ නිෂ්පාදන පිලිබඳ එම ආයතන ලබාදුන් විස්තරයක්.

ඉහත විස්තරයට අමතරව මෑතකදී වැඩි වශයෙන් කතාබහට ලක් වී ඇති කටුනායක ආරම්භ වූ නව ආහාර සැකසීමේ කර්මාන්ත ශාලාව පිලිබඳ තොරතුරු ද අප විමසා සිටියෙමු. මීට මාස කිහිපයකට පෙර මාංශමය ආහාර සඳහා ඇති අපනයන වෙළඳ පොළ පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුව, මෙම කටයුතු වල දශක තුනක පමණ කාලයක නිරත වෙමින් ලබාගෙන ඇති විශේෂ ප්‍රගුන්‍යද උපයෝගී කරගනිමින් නව කර්මාන්තශාලාවක් ආරම්භ කරමින් ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමට අදහස් කළ බව පවසා සිටියා. ඒ පිලිබඳ ව සිදුකළ අධ්‍යයන වාර්තාව ද අපට යොමු කළා.

කටුනායක නව ආහාර සැකසුම් කර්මාන්තශාලාවේ සිදුකෙරෙන නිෂ්පාදන:

මෙම නව කර්මාන්තශාලාවේ නිපයුම් වලින් 98% ක්ම කුකුල්මස් සහ මාළු ආශ්‍රිත නිපයුම් බවත්, ඒ සඳහා අවශ්‍ය මස් ලංකාවේ කුකුළු ගොවීන් හරහා සපයා ගන්නේ දේශීය ආර්ථිකය නඟා සිටුවීමට අතහිත දීමේ ද අරමුණින් බවත් පවසා සිටියා. මෙම කර්මාන්තශාලවේ ගවමස් ආශ්‍රිත නිපයුම් 2% ක් වැනි සීමිත ප්‍රමාණයක් සිදුකෙරන බව ද පැවසීය.

ලංකාවෙන් ලැබෙන ගවමස් ඉහළ ප්‍රමිතියක නොමැති අතර මිලද අධික බැවින්, තත්වයෙන් උසස් ගවමස් යුරෝපය හෝ බ්‍රසීලය වැනි රටවලින් වඩා අඩු මිලකට ලබා ගත හැකි බවත් පවසා සිටියා. ලංකාවෙන් ලබාගන්නා ගව මස් කිලෝවක මිල ඩොලර් 5ක් පමණ වන විට ඩොලර් 2-3 වැනි අගයක් ඇතුළත ගව මස් පිටරටින් ආනයනය කිරීමේ අවස්ථාවක් තිබෙන බවත් පවසා සිටියා. එබැවින් මෙම නව කර්මාන්තශාලාව නිසා ලංකාවේ ගව ඝාතනය වැඩිවන බව පැවසීම හාස්‍යජනක බවත් පදනම් විරහිත බවත් අපට පවසා සිටියා.

අගය එකතු කර ප්‍රතිඅපනයනය සහ ඒ සඳහා ලැබෙන බදු සහන:

ආනයනය කරන අමුද්‍රව්‍ය භවිතා කර, එයට අගය එකතු කර නව නිෂ්පාදනයක් ලෙස ප්‍රති අපනයන කිරීමේදී රේගුබදු සහ වෙනත් බදු අය නොකරන TIEP 1සහනය ලැබෙන නිසා විදේශීය ගවමස් ලබා ගැනීම ලාභදායී බව තවදුරටත් පැහැදිලි කල අතර සභාපතිතුමා ද අපට පවසා සිටියේ පසුගිය රජයන් කිහිපයම මෙම ප්‍රති අපනයන කටයුතු සඳහා සහයෝගය ලබාදුන් බවයි.

අමුද්‍රව්‍ය අනයනය කර අගය එකතු කර නැවත ප්‍රතිඅපනයන කරීමේදී (TIEP) ලැබෙන බදු සහන පිළිබඳව ශ්‍රී ලංකා රේගුව දක්වා තිබුණේ මෙසේය. තවද 2019 වසරේද රේගු දත්ත අනුව ලංකාවට ගව මස් කිලෝ 116,766ක් ආනයන කර ඇති බව නිරීක්ෂණය විය.

මෙම සහනය ඇගළුම් කර්මාන්තය ඇතුළු කර්මාන්ත රැසකට ලැබුණද එම කර්මාන්ත වල අගය එකතු කිරීම දළ වශයෙන් 2%ක් පමණ වුවද ගිල්ස් ආහාර නිෂ්පාදන හරහා එම එකතු කල අගය 40%කට ආසන්න වන බවත් සාමාන්‍යධිකාරී තුමා අපට පවසා සිටියා.

එසේම අපට සමාගම් කළමනාකාරිත්වය පවසා සිටියේ මෙසේ සැකසෙන ගව මස් ආශ්‍රිත බර්ගර් වැනි නිෂ්පාදන බොහෝදුරට මාලදිවයිනට අපනයනය කල අතර ඉදිරියේදී වෙනත් කලාපීය රටවල් වලට අපනයනය කිරීමට ද බලාපොරාත්තු වන බවයි.

නව කර්මාන්තශාලාවේ බිම් ප්‍රමාණය:

නව කර්මාන්තශාලාව දකුණු ආසියාවේ විශාලම ආහාර සැකසීමේ කර්මාන්තශාලාව විය නොහැකි බව පවසමින් සාමාන්‍යධිකාරී තුමා පවසා සිටියේ, ඔවුන්ගේ වත්තල පිහිටි කර්මාන්තශාලාවේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයට පැමිණි බවයි. දැනට කටුනායක ඇති කර්මාන්තශාලාවද වර්ග අඩි 30,000ක් පමණ වන බවද පැවසීය.

ඉන්දියාවේ ඉතා විශාල ප්‍රමාණයේ මස් ආශ්‍රිත ආහාර සැකසුම් කර්මාන්තශාලා තිබෙන බවද අපට දැකගනන්ට ලැබුණා. එවැනි එක් නිෂ්පාදකයකුගේ අක්කර 20කට වැඩි (වර්ග අඩි 870,000ක) එනම් කටුනායක කර්මාන්තශාලාව හා 30 ගුණයක් පමණ විශාල මස් ආශ්‍රිත ආහාර සැකසුම් ඒකකයක් පිළිබඳ වාර්තාවක් මෙතනින්.

මාධ්‍ය වාර්තා:

මෙම කර්මාන්තශාලාව විවෘත කිරීම පිළිබඳව 2020 දෙසැම්බර් මස 12 වනි දින Daily Mirrior පුවත් පත “South Asia’s largest meat processing factory opens in Sri Lanka” සිරස්තලයෙන් ඉදිරිපත් කළ වාර්තාව සමාජ මාධ්‍ය තුල හුවමාරු වූ සටහන් රැසක් සඳහා පාදක වී තිබුණි. කෙසේවෙතත් පසුව එම සිරස්තලය “South Asia’s largest food processing factory opens in Sri Lanka” වෙනස් කර තිබු අන්දමද දක්නට ලැබුණි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවේ ගව ඝාතනය තහනම ක්‍රියාත්මක වූ බවට පළවු සටහන් පිලිබඳ අප සිදුකල කරුණු අනාවරණයක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ විවෘතවු ගිල්ස් සමාගමේ නව කර්මන්තාශාලාවේ 98%ක් ම වෙන් කෙරෙනුයේ ගව මස් ආශ්‍රිත ආහාර සඳහා නොවන බව අපට සමාගමේ කළමනාකාරිත්වය හරහා දැනගනන්ට ලැබුණා. එසේම මස් ආශ්‍රිත අහාර සැකසීමේ වෙළඳපොළ පිලිබඳ සිදුකළ අධ්‍යනයකින් පසුව කලින් ඔවුන්ගේ පැවති වත්තල කර්මාන්තශාලාවේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවූ බැවින් මෙසේ නව කරමන්තශාලාවක් වෙත ව්‍යාපාර කටයුතු වර්ධනය කිරීමට තීරණය කර තිබේ.

එමෙන් මෙම කර්මන්තශලාවේ ගව මස් ආශ්‍රිතව කෙරෙන නිෂ්පාදන සඳහා අවශ්‍ය ගව මස් ආනයනය කරන අතර, ඒ සඳහා අගයක් එකතු කොට (value added) නැවත ප්‍රතිඅපනයන කරන බැවින්, බදු සහන යටතේ ලංකාවේ වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට තත්වයෙන් උසස් මස් ලබාගත හැකි බවත් කළමනාකාරිත්වය පවසා සිටිනවා. කෙසේවෙතත් එම කර්මාන්තශාලාවේ ප්‍රධාන වශයෙන් සිදුකෙරෙන කුකුල් මස් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය මස් සපයාගන්නේ දේශීය කුකුල් ගොවීන් හරහායි.

එසේම මෙම කර්මාන්තශාලාව දකුණු ආසියාවේ විශාලතම මස් කර්මාන්තශාලාවක් නොවන අතර මීට වවඩා බෙහෙවින් විශාල මස් ආශ්‍රිත සැකසුම් සිදුකරන කර්මාන්තශාලා ඉන්දියාවේ තිබෙනවා.

Fact Crescendo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here