Home Hit RMV එකට ආණ්ඩුවෙන් සුද්දයක්

RMV එකට ආණ්ඩුවෙන් සුද්දයක්

436

නාරාහේන්පිට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන් මසකට රුපියල් කෝටි පහකට අධික මුදලක් අල්ලස් ලෙස ජනතා මුදල් ගසා කන බවට තොරතුරු හෙළි වීමත් සමග එහි ඇතැම් කොමසාරිස්වරුන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන් 20 දෙනෙකු ඇතුළු සියලු නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබා දීමට රජය තීරණය කර තිබේ.

මෙම ආයතනයේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය ජනවාරි 01 වන දා සිට යුද්ධ හමුදාවට පවරාදීමට ද මේ වන විට තීරණය කර ඇත. කොමසාරිස්වරුන් පස්දෙනෙක් හා නියෝජ්‍ය හා සහකාර කොමසාරිස්වරුන් පහළොස් දෙනෙක් මෙහි සිටිති.

මෙරට ඇති වැඩි ම දූෂණයක් සිදුවන රාජ්‍ය ආයතනය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව යැයි රජයේ විගණනවලදී ද තහවුරු වී ඇත.

මෙම ආයතනය ස්ථාපනය කළ පසු ගත වූ කාලසීමාව පුරා ම එහි නිලධාරීන් හා ඇතැම් සේවකයන් එක්ව ජනතා මුදල් කෝටි ගණනින් ගසා කා ඇතැයි ද හෙළි වී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරුන්, කොමසාරිස්වරුන්, සහකාර හා නියෝජ්‍ය කොමසාරිස්වරුන් මෙන් ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වත්කම් සොයා බැලීමෙන් මොවුන් අයථා ලෙස උපයාගෙන ඇති මුදල් කන්දරාව කොපමණ ද යන්න තේරුම්ගත හැකි වනු ඇති බව ද එම ආයතනයේ සේවකයන් මෙන් ම රජයේ විගණන නිලධාරීන් ද දිගින් දිගට ම පෙන්වා දී ඇත.

එක්දින සේවාව යටතේ මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී මෝටර් රථයේ පැරැණි අයිතිකරු හෝ අලුත් අයිතිකරු දෙපාර්තමේන්තුවට පැමිණීම අනිවාර්ය කර ඇති අතර එසේ නොපැමිණෙන්නේ නම් “නෝ මෑන්” ක්‍රමය යටතේ එය ඉටුකර ගැනීමේදී රුපියල් 5000ක් අල්ලස් ලෙස ගෙවිය යුතු ක්‍රමයක් ගැන ද හෙළි වී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් දිනකට යතුරු පැදි 1000ක් පමණ ද, මෝටර් රථ 400 ක් පමණ ද, ත්‍රිරෝද රථ ඇතුළු අනෙකුත් වාහන 1500ක් පමණ ද ලියාපදිංචි කෙරෙයි.

මීට අමතරව චිප් එක සහිත රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව එක්තරා පෞද්ගලික සමාගමකට ලබා දීම නිසා මාසයකට රුපියල් කෝටි පහළොවකට වැඩි මුදලක් එම සමාගමට සෑම මසකදී ම නොකඩවා ගෙවා තිබේ.

එම සමාගම සමග අස්සන් කර ඇති ගිවිසුමට අනුව 2009 සිට 2016 වසර දක්වා පමණක් රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ අයිතිය තිබුණ ද එය වසරින් වසර දීර්ඝ කර එම සමාගමට මසකට රුපියල් කෝටි පහළොවකට අධික මුදල් ප්‍රමාණයක් බැගින් වසර එකොළහක කාලයක් තිස්සේ ගෙවා ඇත.

මෙම සමාගම හිටපු මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරුන්ට, විෂය භාර ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ට සෑම මසක ම කොමිස් මුදල් ගෙවා දමන බවට ද තොරතුරු හෙළි වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ වහා ම හදිසියේ ම එම දෙපාර්තමේන්තුවට ගොස් එහි කටයුතු නිරීක්ෂණය කළේ එම හෙළිදරව් පදනම් කරගෙනය.

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කටයුතු භාර දී තිබෙන සමාගම සමග අස්සන් කර තිබූ ගිවිසුම් යළි දීර්ඝ කළ අතර එය ලබන දෙසැම්බර් 31 වන දා අවසන් වේ.

දෙපාර්තමේන්තුවට එල්ල වී තිබෙන දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතාගෙන් “මව්බිම” මේ සම්බන්ධව කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙහි කටයුතු විනිවිදව කරගෙන යාම සඳහා තමා සෑම විට ම උත්සාහ ගත් බවය.

තමන් මෙම තනතුරට පත්වූයේ ඉකුත් මාර්තු 02 වන දා බවත් ඒ මහතා කීය.

උපුටාගැනීම මව්බිම පුවත්පත (2020-12-12)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here