Home Hit නැවුම් උපාය මාර්ග ඔස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය භාර ගන්නවා –...

නැවුම් උපාය මාර්ග ඔස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය භාර ගන්නවා – අගමැති

133
0

නැවුම් උපාය මාර්ග ඔස්සේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව 2020 ශ්‍රි ලංකා ආර්ථික සමුළුව මාර්ගගත (Online) ක්‍රමයට අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්

මිත්‍රවරුනි, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර ඇති වාර්ෂික ආර්ථික සම්මේලනයට සහභාගී වී වචන කිපයක් කථා කිරීමට අපට ආරාධනා කිරීම පිළිබඳව මුලින් ම අප එම මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු කළමනාකරණ මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා.

ලෝකයේ බොහෝ රටවලට වඩා හොඳින් කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව පාලනය කර තිබෙන බව බොහෝ දෙනා අද පිළිගන්නවා. ඒ සමඟ ම, අප රටේ ආර්ථිකයද ක්‍රමවත්ව කළමනාකරණය කරගෙන ඉදිරියට යන්නට හැකි වී තිබෙන බවත් බොහෝ දෙනා පිළිගන්නවා.

එ පමණක් නොව ක්ෂේත්‍ර රාශියක් ඔස්සේ ආර්ථික ප්‍රගතිය ද සාර්ථක ලෙස සටහන් කර ගැනීමට අප හැකිවී තිබෙනවා.
මිත්‍රවරුනි, අප රට දැන් මුහුණ පා ඇති මුලික අභියෝගය නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට ලබා දී ඇති පොරොන්දුව අනුව, “ජනතා-කේන්ද්‍රීය” ආර්ථික පුනර්ජීවනයක් උදා කර ගැනීමයි.

ඒ අතරම, කොවිඩ් වසංගතය ඉදිරියේ පුරෝකතනය කරන ලද දරුණු ආර්ථික අවපාතය, එම උත්සහයට දැඩි බාධාවක් පැනවිම හැකි බව ද බොහො දෙනා අනාවැකි කොට තිබුණ ද එය අවම කර ගනිමින්, ආර්ථිකයේ පුනර්ජිවනයක් ඇති කර ගැනීමත් අප ඉදිරියේ ඇති තවත් දැවැන්ත අභියෝගයකි.

මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට, රජය නැවුම් ක්‍රමවේද අනුගමනය කළ බව ඔබ දන්නවා. රටේ ව්‍යාපාරිකයින් රැකගැනීම සඳහා ඒ අයට “ණය විරාම” ලබා දෙන ලෙස රජය බැංකු හා මූල්‍ය ආයතනවලට උපදෙස් දුන්නා.
රටේ බාහිර ගිණුම මනා ලෙස කළමනාකරණය කිරීම තුළින් රුපියල රැක ගැනීමෙන්, රාජ්‍ය ණය පීඩනය අවම කරන්නට කටයුතු කළා.

පවුල් දසලක්ෂ පහකට අධික ගණනකට කොවිඩ් වසංගතයට මුහුණ දිමට සෘජු මුදල් ප්‍රතිපාදන ලබා දීම තුළින් ජීවන පීඩනයට සහන ලබා දෙන්නටත් අප සමත් වුණා.

සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර කඩා නොවැටී පවත්වා ගෙන යෑම සඳහා බදු සහ පොලී සහන ලබා දුන්නා. ජලය, විදුලිය, බලපත්‍ර ගාස්තු, යනාදිය ගෙවීමට කාලය ලබා දුන්නා. ලීසිං වාරික සහ පොලී ගෙවිම් සඳහා සහන ලබා දීමට කටයුතු කළා.

මේ සියලු ම කටයුතු සඳහා රාජ්‍ය සේවකයින් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ කාර්යක්ෂමතාව ද ඉහළ මට්ටමකට පවත්වා ගැනීමට කටයුතු කළා. රේගුව, ආදායම් බදු, සුරාබදු, ආයෝජන මණ්ඩලය, විදුලිය, ඉන්ධන, වරාය, ගුවන්තොටුපොළ, බැංකු, සමාගම් රෙජිස්ටාර් වැනි ආයතන සහ දෙපාර්තමේන්තු ඇතුළු අදාළ රජයේ ආයතන රාශියක් විසින් පෞද්ගලික ආයතනවලට ලබාදිය යුතු සේවාවන් දැවැන්ත අභියෝග මධ්‍යයේ ද ලබා දීමට රාජ්‍ය සේවය මැදිහත් වුණා.

මුලික වශයෙන්, වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ග්‍රාමීය පාලන යාන්ත්‍රණය ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ දැඩි කැපවීම ඔස්සේ ඉටුවිය යුතු සියලු ‍සේවාවන් ලබා දෙන්නටත් රජයට හැකිවුණා.
මේ සියලුම කටයුතුවල අරමුණ වුයේ ජන ජිවිතය සහ රටේ ව්‍යාපාර අඛණ්ඩව ඔසවා තැබීමයි. අප එසේ නොකළා නම්, රටේ විහිදි ඇති ව්‍යාපාර දැඩි දුෂ්කරතාවකට සහ අපහසුතාවකට පත් වීමට ඉඩ තිබුණා. එසේ වුවා නම්, මුළු රටේ ම ආර්ථිකය කඩා වැටෙන්නටත් අවදානමක් තිබුණා. ඒ හරහා, රාජ්‍ය ණය ගෙවා ගන්නට බැරි වන්නටත් ඉඩ තිබුණා.

එසේ වුණ නම්, විශාල අර්බුදයකට රට ගොදුරු වන්නටත් ඉඩ තිබුණා. එවන් තත්ත්වයක් හරහා, රැකියා ලක්ෂ ගණන් අහිමි වන්නටත්, මුළු ජනතාව ම දැඩි කම්පාවකට සහ අසහනයකට පත් වන්නටත් ඉඩ තිබුණා. ආර්ථික කටයුතු කඩා වැටීම නිසා, රටේ බහුතර ජනතාව අන්ත අසරණභාවයකට පත් වෙන්නටත් අවදානමක් තිබුණා. සමහර විට, සමහරු එසේ වෙන තෙක් බලා සිටින්නටත් ඇතැයි කියා අපට සැක කරන්නටත් ඉඩ තිබෙන්නට ඇත.

එහෙත්, මෙම ප්‍රශ්න සියල්ල ම මධ්‍යයේ, මෙම අභියෝගවලට සෘජුවම මුහුණ දෙමින් අද වන විට, රටේ ආර්ථීකය ස්ථායිභාවයකට පත් කර ගැනීමට අප රජයට හැකි වී තිබෙනවා. මේ බව ආර්ථික කටයුතු වල නිරත වී සිටින ඔබ සියලු දෙනා ම හොඳින් අවබෝධ කරගෙන ඇතැයිද මා සිතනවා.

කෙසේ වුවත්, මෙම තත්ත්වය පිළිබඳව අපි මුලික සෑහීමකට පත්වනවාත් සමඟ ම, මෙම අඩිතාලම මත අපේ රටේ ආර්ථිකය හා ජන ජීවිතය තව දුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යෑමට අපි සෑම උත්සහයක් ම දැරිය යුතු බවත් අප මතක් කර දිය යුතු යයි සිතනවා.

මිත්‍රවරුනි, අප දකින ආකාරයට, තව වැඩි කලක් යන්නට පෙර, මුළු රට ම නැවත ආර්ථික වර්ධන මාර්ගයකට යොමු විය යුතුයි. මුළු රටම නැවත එක ම වැඩ බිමක් බවට පත් විය යුතුයි. එවැන්නක් කිරීම ඔබගේ සම්මේලනයේ එක් අරමුණක් බවද අපට පෙනෙනවා. ඒ පිළිබඳව, අපි විශේෂයෙන් සතුටු වන අතර, එම කර්තව්‍යය වෙනුවෙන් රජයේ ප්‍රධානීන් සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් එකට එක් වී, සැලසුම්, තොරතුරු සහ උපාය මාර්ග බෙදා හදා ගැනීම ඉතා වටිනා ප්‍රයත්නයක් හැටියට අපි දකිනවා.

පසුගිය මාස කිපය තුළදීත් එවන් ප්‍රයත්නවල එක් වැදගත් ප්‍රතිඵලයක් වශයෙන්, මේ වන විටත්, රටට ගලා එන අපනයන ආදායම සහ විදේශ සේවා ප්‍රේෂණ, වසංගතයට පෙර තිබුණු මට්ටම් වලටත් වඩා ඉහළ මට්ටමකට පිවිසී තිබෙනවා. රජය විසින් කාලෝචිත ලෙස පනවන ලද ආනයන සීමා නිසා, අපගේ බාහිර ගිණුමට යම් සහනයක් ලැබී ඇති අතර, එම වාසීන් හරහා බාහිර අංශයේ අතිරික්තයද වැඩි වී තිබෙනවා.

එහෙත්, රටට ගලා එන සෘජු විදේශ ආයෝජන තවමත් අපට සතුටු විය හැකි මට්ටමකට පිවිසී නැති බවත් අප කිව යුතුයි. එම ආයෝජන වර්ධන කරන්නට නම්, පෞද්ගලික අංශයද තව දුරටත් උත්සහවන්ත විය යුතු බවත් අප මතක් කර දිය යුතුය. ඔබත්, එම ප්‍රයත්නයට නොමසුරු ලෙස සහයෝගය ලබා දෙමින්, අප ආර්ථිකය නැවත වරක් ඔසවා තැබීමට කටයුතු කරන ලෙසට අපි ආරාධනා කරනවා.

මිත්‍රවරුනි, ඊයේ, ඔබ ආර්ථීක සම්මේලනයේ පළමු දිනයේ දී, ආර්ථික පුනර්ජීවනය සඳහා ගෝලීයව සහ දේශීයව දියත් කළ යුතු උපාය මාර්ග පිළිබඳව ඔබ සාකච්ඡා කළ බව අපට පෙනී ගියා. එමෙන්ම, රට ගොඩ ගැනීමේ ප්‍රයත්නය වෙනුවෙන් පෞද්ගලික අංශයේ කාර්යභාරය පිළිබඳවත් ඔබ සාකච්ජා කර තිබුණා. අප රට සතු සම්පත්, තවදුරටත් උපයෝගී කර ගනිමින් රටෙහි ආර්ථීක ක්‍රියාදාමය තවදුරටත් වර්ධනය කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් ඔබ ගැඹුරින්ම සාකච්ඡා කර තිබුණා.

එ පමණක් නොව, තාක්ෂණය යොදා ගනිමින් ආර්ථික පුනර්ජීවනයක් ළඟා කර ගන්නේ කෙසේ ද යන්න ගැනත් ඔබ අධ්‍යයනය කළා. මේවායින් පෙනී යන්නේ, අප රට නැවතත් සීඝ්‍ර ආර්ථික වර්ධන මාවතකට යොමු කිරීමට ඔබ ද දැවැන්ත උත්සාහයක යෙදී සිටින බවයි.

එපමණක් නොව, අද දින තුළ අප මේ සහභාගී වන සැසිවාරයෙන් පසුව, රජයේ ආයතන තව දුරටත් කාර්යක්ෂම පාලනය කිරීම පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනීමට ඔබ බලාපොරොත්තු වන බව අපට පෙනී යනවා. අපි හැමෝම අවිවාදයෙන් පිළිගන්නා ආකාරයට, රජයේ ආයතන රටේ විශේෂ කාර්යභාරයක් ඉටු කරන අතර, ඒවා තවදුරටත් “ජනතා-කේන්ද්‍රීයව” සහ ජනතාවගේ අභිලාශයන් ඉටු කරන පරිදි, සංවිධානය කර ගැනීම අත්‍යාවශ්‍යයි.

මිත්‍රවරුනි, අද වන විට රුපියල් බිලියන පන් දහසකට (රු.බි. 5000) අධික සාමුහික වටිනාකමක් ඇති මහ පරිමාණයේ ව්‍යාපෘති 289ක් රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු විසින් ක්‍රියාත්මක වෙනවා. ඒවා නිසි වේලාවට සහ මුලින්ම යෝජිත අගයන්වලට නිම කිරීම ඉතා වැදගත්ය. (“on time” and “on budget”).

එපමණක් නොව, රජයට අයත් ආයතන 400ට අධික සංඛ්‍යාවක් විවිධ සේවාවන් සහ ආර්ථික කටයුතු වල අද නිරතවී සිටිනවා. රාජ්‍ය සේවකයන් ලක්ෂ 18ක පමණ සංඛ්‍යාවක් රාජ්‍ය අංශයේ සේවය කරනවා. එසේ නම්, මෙම දැවැන්ත භෞතික සහ මිනිස් සම්පත කාර්යක්ෂමව, ජනතා හීතවාදීව සහ මුළු රටටම ශක්තියක් සහ යහපතක් වන ලෙස ක්‍රියාවේ යෙදවීම, අප රටේ දැවැන්ත ප්‍රමුඛතාවක් ලෙස අප දකිනවා. ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම වෙනුවෙන්, ඉදිරියේදී, ඔබ ලබා දෙන්නා වු සහයෝගය සහ කැපවීම අප උනන්දුවෙන් අපේක්ෂා කරනවා.

මිත්‍රවරුනි, කෘෂිකර්මය පිළිබඳවත් ඔබ වාණිජ මණ්ඩලය විශේෂ සැලකිල්ලක් දක්වන බව අප සතුටින් නිරීක්ෂණය කළා. ඕනෑ ම රටක ආහාර සුරක්ෂිතභාවය (Food Security) රැක ගැනීම එම රටේ ආණ්ඩුවේ විශේෂ වගකීමක් වන අතර, ඒ සඳහා ජනතාවගේ කැපවීමද අත්‍යවශ්‍යයි.

කොවිඩ් වසංගතයේ දි අපි රටක් වශයෙන් ඉගෙන ගත් එක් විශේෂ පාඩමක් නම්, ගෝලීය උවදුරක් හේතු කොට ගෙන යම් කම්පනයක් සිදු වන විට, රටට අවශ්‍ය වන ආහාර එම රටේම නිෂ්පාදනය කර ගැනීම ඉතා වැදගත් බවයි. අතිතයේ දී, අපට ඕනෑ ම බෝගයක් හෝ භාණ්ඩයක් හෝ සේවාවක් හෝ ආනයනය කළ හැකියි යන මානසිකත්වයකින් සමහර රජයන් කටයුතු කළ ආකාරය අප දුටුවා. එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් රටකට විය හැකි හානිය කොතරම් භායානක යන්න අද පැහැදිලි වී ඇතැයි, අප සිතනවා.

මිත්‍රවරුනි, කොවිඩ් වසංගතයෙන් අපේ රටට සිදු වු පාඩු සහ හානිවලින් මුල් තැනක් ගත් තවත් එක් ක්ෂේත්‍රයක් නම් සංචාරක ක්ෂේත්‍රයයි. ගුවන්තොටුපළ සහ වරායන් හරහා අප රටට සංචාරකයන්ට පිවිසෙන්නට අවකාශය අහිමි වු නිසා, අප ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල වු බව අපි දන්නවා. එයින් ජීවන උපායන් රාශියකට සැලකිය යුතු අවහිරයක් ඇති වු බවත් අප දන්නවා. එසේ වුව ද, එම හානිය හා අවාසිය අවම කර ගැනීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරත වී සිටින පුද්ගලයන්ට සහ ආයතනයන්ට ණය සහ පොලී විරාමයන් ලබා දෙමින්, යම් සහනයක් ලබා දීමට රජය කටයුතු කර ඇති බවත් ඔබ දන්නවා.
ඒ ආකාරයට, මෙම සංචාරක ක්ෂේත්‍රයේ සම්පත් අරක්ෂා කරමින්, අනාගතයේදී මෙම ක්ෂේත්‍රය නැවත නැගී සිටුවීමට අප සුදානම් විය යුතුයි. ඒ නිසා, මේ ප්‍රශ්නය පිළිබඳවත් ඔබ සැලකිලිමත් වීම ගැන අප සතුටු වෙනවා.

මිත්‍රවරුනි, 2020 වසර තුළඳී අප රජයට මුහුණ දීමට සිදුවු අභියෝගයන් ඉතා දැවැන්ත ඒවාය. එම අභියෝග තියුණු වුයේ කොවිඩ් නිසා පමණක් නොවේ. 2015 සිට 2019 දක්වා අප ආර්ථිකයේ සිදු වු සැලකිය යුතු පසුබෑමත් එයට හේතු වු බව අපි සියලු දෙනා ම දන්නවා. එහෙත්, එම අභියෝග ඉදිරියේ, අප පසුබට වුයේ නැහැ. අප කෙඳිරි ගැවේත් නැහැ. අපි විපක්ෂයට චෝදනා කරමින් කාලය නාස්ති කළෙත් නැහැ. එසේ නොකර, ජනතාව අපගෙත් බලාපොරොත්තුව වූ කාර්ය භාරයේ යෙදෙමින් අපගේ වගකීම් අපි ඉෂ්ට කළා.

ඒ අනුව, පසුගිය මාසයේ මැඳ භාගයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කර ඇති “සෞභාග්‍යයේ දැක්ම” සැලැස්ම සාක්ෂාත් කර ගැනීමේ මුලික පියවර වශයෙන්, අප නව රජයේ පළමු අයවැය අපි ඉදිරිපත් කළා. ඒ හරහා, 2021 වෙනුවෙන් ආර්ථිකයේ සියයට 5.5 ක වර්ධනයක් ඇති කර ගැනීමටත්, සාර්ව ආර්ථික සාධක යහපත් මට්ටමකට පත් කර ගැනීමටත්, බදු ප්‍රතිපත්තිය නොවෙනස්ව පවත්වා ගෙන යාමටත්, ආර්ථිකයට නව ජවයක් ලබා දීමටත්, අප අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළා. මේවා ක්‍රියාත්මක කිරීමට අප රජයේ සියලු මැති ඇමතිවරුන් සහ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරින් බලාපොරොත්තුවෙන් සිටිනවා.

මිත්‍රවරුනි, රාජ්‍ය සේවය එසේ කරද්දී, අප රටේ ආර්ථිකයේ පුනර්ජිවනයක් ඇති කර ගැනීමට ඔබගේ වාණිජ මණ්ඩලයේ සාමාජිකයන්ද උනන්දුවෙන් සිටින බව අපට පෙනී යනවා. ඒ පිළිබඳවත් අප සතුටු වන අතර, එයින් තහවුරු වන්නේ ආර්ථික පුනර්ජීවනය, රජය සතු වගකීමක් පමණක් නොව, ඔබ සේවය කරන පෞද්ගලික ආයතනවල වගකීමක් ලෙසත්, ඔබ පිළිගෙන ඇති බවයි. මෙය ඉතා වැදගත් ප්‍රවණතාවකි. මේ පිළිබඳව අපි ඔබ සියලු දෙනාට අප රජය වෙනුවෙන් ස්තූති කරන්නට කැමැතියි.

මිත්‍රවරුනි, එළඹෙන වසර කිහිපය, අප රටට තීරණාත්මක වසර කිහිපයකි. අප රටේ ආර්ථිකමය ඉදිරි ගමන ශක්තිමත් කෙරෙන වකවානුවකි. එළඹෙන මෙම වකවානුව සාර්ථක වන්නට නම්, අප සියලු දෙනා එක්ව මෙම අභියෝග කළමණාකරනය කර ගත යුතුයි. ඒ සඳහා, අපි නැවුම් උපාය මාර්ග ක්‍රියාත්මක කළ යුතුයි. මේ වන විටත්, ඔබ දක්වා ඇති ප්‍රතිචාරවලින් අපට පෙනී යන්නේ එවැනි අභියෝගයක් භාර ගන්නට ඔබ සාමාජිකයින් සුදානම්ව සිටින බවයි.
රජයක් හැටියටත්, අප ද එම වගකීම් සහ අභියෝග භාර ගැනීමට සුදානම්ය. එසේ නම්, අප සමඟ ම එක්වී, අප රට ආර්ථිකමය පිබිදීමක් කරා යොමු කිරීමට අප ඔබ සියලු දෙනාට ම ආරාධනා කරනවා. එමෙන් ම, ඔබ මණ්ඩලයේ සභාපති හාන්ස් විජේසූරිය මහතා ඇතුළු සියලු දෙනාට ම අප ස්තූතිවන්ත වෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි.
අගමැති මහින්ද රාජපක්ෂ
ශ්‍රි ලංකා ආර්ථික සමුළුව -2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here