Home Hit පොහොට්ටුවේ භාණ්ඩාගාරික ඉඩම් කොල්ලයක?

පොහොට්ටුවේ භාණ්ඩාගාරික ඉඩම් කොල්ලයක?

583
0

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති හා පොදු ජන පෙරමුණේ භාණ්ඩාගාරිකද වන රේණුක පෙරේරා නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාවල පිහිටි අක්කර පහක විශාල ඉඩමක් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මසකට රුපියල් ලක්ෂයක මුදලකට කුලී පදනම මත ලබාදී ඇත.


සැප්තැම්බර් 17 දින මේ වෙනුවෙන් වූ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය ගෙන ඇති අතර නාවල කිරිමණ්ඩල මාවතේ පිහිටි පරංගියා කුඹුර නමැති ඉඩම කුලියට ලබාදී ඇත්තේ Savindra Enterprices (pvt) Ltd නමැති සමාගමටය. එම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවට අනුව කුලී පදනම මත දෙන ඉඩම් ප්‍රමාණය කොපමණද යන්න සඳහන් කර නැත. එහෙත් මෙම ඉඩම ලබා දෙන්නේ පස් සහ උපකරණ රඳවා තැබීමට බවද එම පත්‍රිකාවේ සඳහන් වේ.


මේ සම්බන්ධයෙන් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක එන්.ජී. කාන්දිබන් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක ඊ.එල්.පී. කුමාර විසින් සිදුකරන ලද විගණනයේ නිරීක්ෂණය අනුවද මෙය නීති විරෝධී ගනුදෙනුවක් බව හෙළිවී තිබේ.


ඒ අනුව අක්කර 05 පර්චස් 10ක් වන මෙම ඉඩම බදුදීම සඳහා බදු ගිවිසුමක් අත්සන් කර නොමැති බවද ලිපියකින් එම ගනුදෙනුව සිදුකර ඇති බවද හෙළිවේ. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව පෞද්ගලික හිතවත්කම මත මෙකී ගනුදෙනුව සිදුවී ඇති බවත් දේපළ ඉල්ලීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර නැති බවත් ඉඩමේ වටිනාකම ගැන රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු වාර්තාවක් පවා ලබාගෙන නැති බව අනාවරණය වී තිබේ.


නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරාගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ, මෙම ඉඩම ටෙන්ඩර් නොකර කුලී පදනමින් ලබාදීමට නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට හැකියාවක් තිබෙන බවය. එසේ කුලී පදනම මත දීමේ වරදක් නැති බවද ඔහු කීය. මේ සම්බන්ධයෙන් සිදුව ඇත්තේ විගණන නිරීක්ෂණ ඉදිරිපත් කිරීමක් බවත් එයට තමන් පිළිතුරු යැවූ බවද ඔහු කීවේය.


මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විජයානන්ද හේරත්ගෙන් විමසූ විට පැවසුවේ අදාළ තොරතුරු ඉතා කඩිනමින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන බවය. 

නිමල් අබේසිංහ
(රාවය පුවත්පත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here