Home Hit ත්‍රස්ත සැකකරුවන්ට රඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය අධිකරණයට නොව පොලීසියට දෙන්න

ත්‍රස්ත සැකකරුවන්ට රඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය අධිකරණයට නොව පොලීසියට දෙන්න

160
0

ත්‍රස්ත ක්‍රියාවන්ට අදාළව අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය අධිකරණයේ අභිමතය අනුව නොව, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හරහා සිදුකළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යෝජනා කර සිටිනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බුද්ධි අංශ සම්බන්ධයෙන් පනතක් ගෙන ඒමේ අවශ්‍යතාවක් ද මේ වනවිට මතුව ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ඊයේ සාක්ෂි ලබාදුන්නේ තුන්වෙනි දිනටයි.

ප්‍රතිත්‍රස්ත පනත සම්පාදනයට දායක වූ කමිටුවේ සාජිකයෙකු වශයෙන් ත්‍රස්තවාදය සහ ආගමික අන්තවාදය සම්බන්ධයෙන් ගත යුතු හා දැනට පවතින නීතිමය තත්ත්වය පැහැදිලි කරගැනීම සඳහායි අජිත් රෝහණ සාක්ෂියට කැඳවා තිබුණේ.

සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ, ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණෙන සැකකරුවන් මාස හයක කාලයක්වත් පොලිස් අත්අඩංගුවේ තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකළ යුතුබවයි.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය –

”‍ ප්‍රායෝගික ගැටලු‍වක් තිබෙනවා විමර්ශකයන්ට ත්‍රස්ත සැකකරුවන් එලෙස කාලයක් රඳවා ගැනීමේදි ඔවුන් එකිනෙකා සමඟ සම්බන්ධ වෙන නිසා තොරතුරු වසන් කරනවා කියලා?”‍

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

 ”‍යටිතල පහසුකම් බලලා නීති හදනවද, නීති හදලා යටිතල පහසුකම් හදනවද කියන එක බලන්න ඕනෙ. නීතිය හැදුවම තමයි ඊට අදාළව අනික් ක්‍රියාමාර්ග ගත යුතු වෙන්නේ. ”‍

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය –

”‍මේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන්වන සැකකරුවන්ට රැඳවුම් නියෝග දීර්ඝ කිරීම් සම්බන්ධයෙන් කුමක්ද අවධානයට ගත යුතු වන්නේ ?”‍

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

”‍සාමාන්‍ය ක්‍රමය තමයි රැඳවුම් නියෝගයක් ගැනීමට හෝ එය දිගු කිරීමට ත්‍රස්ත සැකකරුව මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරනවා. නමුත් ත්‍රස්තවාදීයෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට ලබා දිය යුතුයි කියන එකයි මගේ යෝජනාව. ඒකට අධීක්ෂණ කමිටුවක් දැම්මට කමක් නැහැ. ත්‍රස්තවාදය හෝ අන්තවාදය සහිත ප්‍රදේශයක මෙවැනි දෙයක් කිරීමේදී මහේස්ත්‍රාත්වරයාට ආරක්ෂාවක් නැහැ. ඒ නිසා ඔවුන් තර්ජනයට හෝ බලපෑමකට ලක් විය හැකියි. නමුත් විමර්ශකයන් සැමවිටම ආරක්ෂාව සහිතව අවි පුහුණු ලැබූ සහ බොහෝදුරට කඳවුරක සිටින අය නිසා ඔවුන්ට බලපෑමක් නැහැ. නමුත් සැකකරුව මසකට වරක් මහේස්ත්‍රාත්වරයාට නිරීක්ෂණය කිරීම කරන්න පුලු‍වන්, මානව හිමිකම් සංවිධානයට ඒ නිරීක්ෂණය කරන්න පුලු‍වන් ඊට කිසිම බාධාවක් නැහැ. එම නිසා කිව යුතුයි මේ රැඳවුම් නියෝග දීමේ බලය නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට ලබාදීම විමර්ශනයටත් පහසුවක්. ඒ විමර්ශනයට අදාළ ගොණු සැමවිටම මහේස්ත්‍රාත්වරයා ළඟ නැහැ නමුත් ඒවා විමර්ශකයන් ළඟ නිතර තිබෙන නිසා එය විමර්ශන කටයුතු ආරක්ෂා වීමටත් හේතුවක්. ”‍

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

”‍ එවැනි ත්‍රස්තවාදී සැකකරුවන්ට ඇප ප්‍රදානයක් සිදුවෙනවානම් ඒ බලය ලබාදිය දීම සම්බන්ධයෙන් ඔබේ යෝජනාව කුමක්ද ?”‍

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

”‍ එවැනි සැකකරුවකුට අත්අඩංගුවේ සිට අවුරුද්දකට අඩු කාලයකදී ඇප දිය යුතු නැහැ. එලෙස ඊට අඩු කාලයකින් ඇප ලබා දෙනවානම් නීතිපතිවරයාගේ අවසරය මත එය සිදු විය යුතුයි. අවුරුද්දකට වැඩි කාලයකට පසු ඇප ප්‍රදානයක් සිදුවනවානම් එම බලය මහාධිකරණයට ලබාදෙන්න ඕනේ කියන එකයි මගේ යෝජනාව. අද සමාජයේ තිබෙන ත්‍රස්තවාදී ක්‍රියාවල සංකීර්ණභාවය බලලා තමයි මෙම යෝජනා කරන්නේ.”‍

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

”‍ ඇප ලබාදීමේදී දේශපාලකයන් පොලිස් නිලධාරින් සමඟ සම්බන්ධවිම් වාර්තා වෙනවා. එමගින් බලපෑමක් සිදුවෙනවානම් එය අපරාධ යුක්තිය පසැඳලීමට බාධාවක් නේද ?”‍

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

 ”‍ අනිවාර්යයෙන් එය බාධාවක් ස්වාමීනි. පක්ෂවලට වාසි ගන්න එහෙම කළාට එයින් රටට වෙන අවාසිය ඔවුන් හිතන්නැ. දැනට තියෙන නීතිය අනුව දණ්ඩ නීතී සංග්‍රහය අනුව වරදකරු දඩුවමින් වැළැක්වීම හා සාක්ෂි අතුරුදන් කිරීම යටතේ එය වරදක් වෙනවා.”‍

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

 ”‍ ඔබේ ප්‍රායෝගික දැනුම අනුව කියන්න, අන්තවාදයට සම්බන්ධ පුද්ගල පිරිස් ඉන්න ප්‍රදේශවල විමර්ශන ඒ ඒ ප්‍රදේශීය පොලිසියට බලය දීලා කරන එකද සුදුසු නැත්නම් එක ස්ථානයක් හරහා මෙහෙයවන එකද ?”‍

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

”‍දැනටත් ක්‍රියාත්මක වෙන්නේ මේක ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය හරහා. එහි නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ඉන්නවා. මේ කටයුතු එක ස්ථානයකින් ක්‍රියාත්මක වෙලා අනු අංශ පළාතට එකක්වත් ස්ථාපිත කරන්න ඕනෙ කියන එකයි මගේ අදහස. තව කාරණයක් ස්වාමීනි. අපිට බුද්ධි අංශ සම්බන්ධයෙන් බුද්ධි යාන්ත්‍රණයට වෙනම පනතක් අවශ්‍යයි. බුද්ධි කටයුතු ප්‍රබල වෙන්නනම් එය සිදුකළ යුතුමයි. ”‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here