පොළොන්නරුව, ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඇති අනවසර ගව ගාල් පිළිබඳව සොයාබැලීමට ‘සිංහලේ අපි’ ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ.
අනවසර ගව ගාල් ඉවත් කිරීමට ලබාදී ඇති අධිකරණය නියෝග දේශපාලන බලපෑම් මත ක්‍රියාත්මක නොකර සිටින බව එහිදී හෙළි වී ඇති බව උන්වහන්සේ සඳහන් කරයි.
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරිම කිරිගවයන්ට තෘණ ආහාරය ගැනීම සඳහා ඉඩ ලබාදීම මෙන්ම වසා දමා ඇති වන ජීවි කලාපය මැද පිහිටි පාරක් විවෘත කර දෙන ලෙස ජනතාව කර තිබූ ඉල්ලීමකට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පසුගිය 25 වැනිදා අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ගොවීන්ගේ ඉල්ලීමට වන ජීවි නිලධාරීන් එකඟ නොවීම හේතුවෙන් අමාත්‍යවරයා හා නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.
වනජීවී රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් දිවයින පුරා සමස්ත ලංකා ඒකාබද්ධ නිලධාරී සංගමය ඊයේ වැඩ වර්ජනයක්ද දියත් කර තිබුණා.
මේ අතර ‘සිංහලේ අපි’ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු පිරිසක් මෙම මතභේදයට ලක්ව ඇති ගව ගාල් පිහිටි ස්ථාන නිරීක්ෂණය කළා.
එහිදී නීති විරෝධීව රක්ෂිතය ආක්‍රමණය කර ඇති ජනතාවගේ දුක් ගැනවිල්ල වන්නේ තම ගවයන්ට අවශ්‍ය තෘණ සපයා ගැනීම හා වගා භූමි අහිමිවීමේ ගැටලුවයි. ඒ සඳහා රක්ෂිතයේ ප්‍රේරක කලාපය භාවිතයට ගත හැකි නමුත් මෙම ජාවාරම්කරුවන් එයට කැමැත්තක් නොමැති බවත් ඔහුන් දිගින් දිගටම කූඨ සැලසුම් සකස් කරමින් නිළධාරීන් හා දේශපාලකයන් තම වසගයට ගනිමින් රක්ෂිත කලාපයම ඉල්ලා සිටින බවත් එයට හේතුව ගව පාලනයට හා වගාකිරීමට වඩා නීති විරෝදී දෑ එහි ජයටම සිදුකරන බවත් ජන ජීවිතය පවත්වා ගැනීමට රක්ෂිතයෙන් පිටත ඇති භූමි (ප්‍රේරක කලාපය) නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට බෙදාදෙන ලෙසත් කිසිදු ආකාරයකින් රක්ෂිතය තුළ මහජන ක්‍රියාකාරකම් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසත් එම සංවිධානය රජයට යෝජනා කරන බවත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරත්න හිමියන් පවසනවා.
මෙවන් පසුබිමක වත්මන් රජයේ රාජ්‍ය ඇමාත්යවරුන් දෙදෙනෙක් විසින් මෙම රක්ෂිතය තුළ මහජන ක්‍රියාකාරකම් සිදුකිරීමට අනුබල දීම හා නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන වනජීවී නිළධාරීන්ට අඩන්තේට්ටම් කිරීම තරයේ හෙළා දකින බව සඳහන් කරන ජඹුරේවෙල චන්දරතන හිමියන් කුමන ආණ්ඩුවක හෝ වේවා පරිසරය හා නීතිය අවබාවිතා කරමින් කටයුතු කරන ඕනෑම දේශපාලකයකුට නිළධාරියෙකුට එරෙහිව සිටගැනීමට අප දෙවරක් නොසින බව පවසනවා.




