Home Hit හුදෙකලා ප්‍රදේශ ගැන අද තීරණයක් ගනී – නිවාස තුළ මියයෑම් අවම...

හුදෙකලා ප්‍රදේශ ගැන අද තීරණයක් ගනී – නිවාස තුළ මියයෑම් අවම කරගැනීමට පියවර

635
0

දැනට හුදෙකලා කල ඇති ප්‍රදේශවල එම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් අද දිනය තුළ විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිත බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ එක්ව සිදුකරන එම විශ්ලේෂණයෙන් පසු ලබන සඳුදා අලුයම 05 න් පසුවද හුදකලා කල යුතු ප්‍රදේශ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව යුධ හමුදාපතිවරයා පවසනවා.

එක් එක් ප්‍රදේශවලින් වාර්තාවන කොවිඩ් අසාදිත මරණ සංඛ්‍යාව, අසාදිතයන් ගණන මෙන්ම නිවාස නිරෝධායනය වන සංඛ්‍යාව කෙරෙහි එහිදී අවධානය යොමු කෙරෙන බව යුධ හමුදාපතිවරයා සඳහන් කලා.

කිසියම් පොලිස් වසමක ග්‍රාම නිළධාරී වසමක හෝ කුඩා ප්‍රදේශයකින් පමණක් අසාදිතයන් වාර්තා වන්නේ නම් එම කලාපය පමණක් හුදකලා කෙරෙන බවයි ඔහු කියාසිටියේ.

එමගින් අනෙකුත් ප්‍රදේශවල සිටින ජනතාවට සිදුවන අපහසුතාවය අවම කිරීම අරමුණ වී තිබෙනවා.

මේ අතර බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව PCR පරීක්ෂණ සඳහා නොපැමිණීම සම්බන්ධයෙන්ද ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් පළකලා.

අද දිනයේදී නැවත වරක් විශේෂ ක්‍රමයක් යටතේ ඔවුන් දැනුවත් කර ඒ සඳහා ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි යුධ හමුදාපතිවරයා කියාසිටියේ.

PCR පරීක්ෂණ සඳහා සහය නොදැක්වුවහොත් එහි හුදකලා කාලසීමාව තවත් දීර්ඝ කිරීමට සිදුවිය හැකි බවටයි ඔහු අනතුරු අගවා සිටියේ.

මේ අතර නිවෙස්වල නිරෝධායනය වන පිරිස් අතුරින් කිසියම් රෝග ලක්ෂණ පිරිස් වෙතොත් ඔවුන් රෝහලකට හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙස ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

කොවිඩ් ආසාදනය වී නිවාස තුළදී සිදුවන මියයෑම් අවම කරගැනීම එහි අරමුණ බවයි යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here