Home Hit අංගොඩ ලොක්කාගේ උකුස්සා මහජන ප්‍රදර්ශනයට

අංගොඩ ලොක්කාගේ උකුස්සා මහජන ප්‍රදර්ශනයට

324

සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන් ම කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අංගොඩ ලොක්කා’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමට යොදා ගත් බව පැවසෙන උකුස්සා දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ එළිමහන් ප්‍රදර්ශන කුටියකට යොමු කිරීමට එහි බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව, එම උකුස්සා දෙහිවල සත්ත්වෝද්‍යානයේ අනිකුත් උකුස්සන් සමග මහජන ප්‍රදර්ශනය සඳහා තබනු ඇත.

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට දෙහිවල සත්ත්වෝද්‍යානය මහජනතාව සඳහා විවෘත කර නොමැති බැවින් එය විවෘත කළ පසු මෙම උකුස්සා දැක බලාගැනීමට මහජනතාවට අවස්ථාව හිමිවේ.

කෙසේවෙතත්, තවදුරටත් මෙම උකුස්සා වෛද්‍ය අධීක්ෂණය යටතේ තබන බව දෙහිවල සත්ත්වෝද්‍යානයේ නිලධාරියෙකු සඳහන් කරයි.

එමෙන් ම, මෙම උකුස්සා අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතින මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ නඩු කටයුත්තේ නඩු භාණ්ඩයක් ලෙස ද පවතිනු ඇත.

මීගොඩ, නාවලමුල්ල ප්‍රදේශයේ සිරකර සිටියදී අතුරුගිරිය පොලිසිය මෙම උකුස්සා සොයා ගනු ලැබූ අතර පසුව එම උකුස්සා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

එහිදී උකුස්සා නඩු භාණ්ඩයක් ලෙස දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට භාර දී පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.

‘කුස ඇලි මුහුදු උකුස්සා’ නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාවක් ඇතැයි සැළකේ.

වනජීවි නිලධාරීන් පවසන්නේ මෙම වර්ගයේ උකුස්සන් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බවයි.

(මව්බිම)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here