Home Hit පාසැල් පැමිණි ඇතැම් දරුවන්ගේ නිවෙස්වල කොවිඩ් රෝගීන්

පාසැල් පැමිණි ඇතැම් දරුවන්ගේ නිවෙස්වල කොවිඩ් රෝගීන්

596

නව පාසල් වාරය ආරම්භවීමෙන් අනතුරුව කොවිඩ් -19 වසංගත තත්ත්වයේ බලපෑමෙන් පාසැල් කටයුතුවලට බාධා වූ සිදුවීම් කිහිපයක් අද (24) දිනයේ වාර්තා වුණි.

අම්බලන්ගොඩ, බදුල්ල සහ තලවකැලේ යන ප්‍රදේශවලින් එම සිදුවීම් වාර්තා වූ බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළහ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ අම්බලන්ගොඩ කුලරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුවෙකුගේ සහ සිසුවියකගේ මව්පියන් කොවිඩ් ආසාදිතයින් ලෙස අද (24) හඳුනාගෙන තිබේ.

ඒ අනුව, එම සිසුන් අධ්‍යාපනය ලැබූ පන්ති කාමරවල සෙසු සිසුන් සහ ගුරුවරුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර පාසැලේ සෙසු කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදුකරගෙන යෑමට පියවර ගන්නා බව පාසැල් බලධාරීන් සඳහන් කර තිබේ.

ආරක්ෂක අංශ සාමාජිකයෙකු වන මෙම ආසාදිත පියා ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී තම දරුවන් පාසැල වෙත යොමුකර ඇති බව අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ විදුහල්පති ජගත් සේනාරත්න මහතා සඳහන් කළේය.

මේ අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පවුල් කිහිපයක ළමුන් පාසැල් පැමිණ ඇති බව කියන සිදුවීමක් මුල් කරගනිමින් තලවකැලේ දෙමළ මහා විද්‍යාලයේ මව්පියන් සිය ළමුන් පාසැලෙන් ඉවත් කරගැනීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් නිරෝධායනයට යොමුකර ඇති ළමුන්ට පාසැල වෙත පැමිණීමට අවස්ථාව ලබා නොදුන් බව එම විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන් කර ඇත.

බදුල්ල, කන්දෙගෙදර ජාතික පාසැලේ සිසුවෙකුගේ සීයා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව ද අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

(උපුටා ගැනීම- අද දෙරණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here