Home Hit ‘සිල් රෙදි’ නඩු තීන්දුව අද

‘සිල් රෙදි’ නඩු තීන්දුව අද

238

සිල් රෙදි නඩුවේ මහාධිකරණ තීන්දුවට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහත්වරුන් ගොනු කර ඇති අභියාචන පෙත්සම් පිළිබඳ තීන්දුව අභියාචනාධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම තීන්දුව පසුගිය 13 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණද උපරිමාධිකරණ සංකීර්ණය පිහිටි කෙසෙල්වත්ත ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හමුවේ නඩු කටයුතු කැඳවීමට හැකිවූයේ නැහැ.

පෙරේදා දිනයේදී මෙම පෙත්සම් කැඳවූ අභියාචනාධිකරණය දැනුම් දුන්නේ අද දිනයේදී එම නඩු තීන්දුව ප්‍රකාශ කරන බවයි.

ඒ අනුව එම පෙත්සම්වල වගඋත්තරකරුවන් වන නීතිපතිවරයා ඇතුලු පාර්ශවයන්ට අද දිනයේදී අධිකරණයේ පෙනී දන්වා නොතිසි නිකුත් කරන ලෙසයි කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණ ලේඛකාධිකාරීවරයාට නියම කලේ.

2015 වසරේ ජනාධිපතිවරණය සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමිනුයි ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා විත්තිකරුවන් අධිචෝදනාවලට වරදකරුවන් බවට තීන්දු කර ඔවුන්ට බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඩුවම් හා දඩ මුදල් ද නියම කරනු ලැබුවා.

කෙසේවෙතත් තමන්ට දඩුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත්, තමන් ට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බවත් පවසමින් විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කරනු ලැබුවා.

තමන් සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස සහ මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙසයි එමගින් ඉල්ලා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here