Home Hit “මා සමත් ද අසමත් ද යන්න මැනෙන්නේ ජනතා මතයෙන් මිස සමාජජාලා ප්‍රචාර...

“මා සමත් ද අසමත් ද යන්න මැනෙන්නේ ජනතා මතයෙන් මිස සමාජජාලා ප්‍රචාර වලින් නොවේ” ජනපති ජාතිය අමතමින් පවසයි

1214

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර අද (18) සම්පූර්ණ කෙරෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තේරී පත්වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපති ධූරයට තේරී පත් ප්‍රථම වෘත්තීමය නොවන දේශපාලනඥයා මෙන්ම එම ධූරයට පත් වූ ප්‍රථම හිටපු හමුදා නිලධාරියා බවටද පත්වෙමින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා

එහිදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ සිර ගෙවල් වල සිට පාතාලය මෙහෙයවීමට ඉඩ දුන් කාලය අවසන් කරමින් ඇති බවත්, පාතාල සාමාජිකයන්ටතව දුරටත් ජනතාව බිය විය යුතු නොවන නොවන බවත් ය.

එමෙන්ම, මෙරට වෙනත් කිසිඳු රටකට ගැති නොවන ස්වෛරී රටක් බව පෙන්වූ නිසා ගෝලීය බලවතුන්ගෙන් නිසි ගෞරවය ලැබෙමින් ඇති බවත් ජනපතිවරයා පවසනවා.

පැවති මැතිවරණය ආදර්ශමත්ම මැතිවරණයක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය අවම මට්ටමක පැවති බවත් කලකට පෙර 225ම එපා කියු ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකිව ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

කිසිඳු ආකාරයකින් අධිකරණයට හෝ පොලිසියට බලපෑම් නොකළ බවත් දේශපාලන ප්‍රතිවාදීන් මර්දනයට නීතියට අවභාවිතා කිරීමේ ක්‍රමවේදය මුළුමණින්ම ප්‍රතික්ෂේප කිරීම ආදර්ශයෙන් පෙන්වූ බවත් පෙන්වා දෙන එම මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ රජයේ උසස් තනතුරු සඳහා සුදුස්සන් තේරීමට වෘත්තිකයන්ගෙන් යුතු කමිටුවක් පත් කිරීම හරහා දේශපාලන බලපෑම් මත නුසුදුස්සන් ප්‍රධානීන් බවට පත් වීමට ඇති ඉඩ ඇහිරූ බවයි.

වසර කිහිපයක් පුරා අඛණ්ඩව කඩා වැටෙමින් පැවතිවිදේශ විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කළ බවත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබූ විදේශ ණය ගැනීම් ප්‍රමාණය පාලනය කළ බවත් ගෙවීමට නියමිතව තිබූ සියළුම විදේශීය ණය වාරික ගෙවා නිම කළ බවත් එම මහතා පවසනවා.

එතනෝල් පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කළ බවත් කෘෂිකර්මාන්තයේ නව ප්‍රබෝධයක් ඇති කළ බවත් එම මහතා පවසනවා.

රැකියා විරහිත උපාධිධාරයින්ට රැකියා ලබා දීමට කටයුතු කළ බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවත් “එක ගමකට එක නිවසක්” ව්‍යාපෘතිය යටතේ නිවාස 14000ක් ඉදි කෙරෙමින් පවතින බවත් වතුනිවාස 4000ක් ඉදිකෙරෙමින් පවතින බවත් ජනපතිවරයා ප්‍රකාශ කරනවා.

මුල් කාලයේ තමන් වැඩ කටයුතු කළේ සුළුතර පාර්ලිමේන්තු බලයක් සහිතව බව එම මහතා පෙන්වා දෙනවා.

කොරෝනා වසංගතය පැතිරෙද්දී වහාම ක්‍රියාත්මක වූ බවත් වූහාන් නගරයේ සිරව සිටි සිසුන් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගත් බවත් පෙන්වා දෙන එතුමා ඉන් පසුව ඉදිරියේදී රට තුළ ඇතිවිය හැකි කෝවිඩ් රැල්ල පාලනය කිරීමට කාර්‍ය සාධක බලකායක් පිහිටුවා තිබූ නිසා ඉක්මනින් පළමු කොරෝනා රැල්ල පාලනය කිරීමට හැකිවූ බව පවසනවා.

මෙරට කොරෝනා පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඇගයීමට ලක්වු බවත් එම කාලය තුල අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිළ පහත දමා ජනතාවට සහන සැලසූ බවත් කොරෝනා මර්ධන කටයුතු සඳහා රජය රුපියල් මිලියන 70,000ට වඩා වියදම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

“මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිණුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජජාලා හරහා පතුරවන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි.” යැයි ජනපතිවරයා අවධාරණය කර සිටිනවා.

කොරෝනා මරණ සංඛ්‍යාව 0.05%කට වඩා අඩු අගයක පවත්වා ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව ඇති බවත් සියළු දෙනා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් වගකීමෙන් ක්‍රියා කළහොත් මෙවරත් කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට හැකි වෙතැයි එම මහතා පෙන්වා දෙනවා.

හෙදියන් හට ලබා දෙන ඩිප්ලෝමා සහතිකය වෙනුවට උපාධියක් දක්වා ඉගෙන ගැනීමට අවස්තාව සැලසෙන පරිදි සියළුම හෙද පුහුණු පාසල් එක් විශ්ව විද්‍යාලයක් යටතට ගැනීමට කටයුතු අරඹා ඇති බවත් ජාතික ක්‍රීඩා විශ්‍ව විද්‍යාලයක් ඇරඹීමට කටයුතු සූදානම් වෙමින් පවතින බවත් ඒ මහතා පවසනවා.

විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කරන බවත් රැකියාවේ යෙදෙන ගමන් අධ්‍යාපනය ලැබීම දිරි ගැන්වීමට කටයුතු කරන බවත් ජනපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

නාස්තිය සහ දූෂණයට සම්බන්ධ වන පුද්ගලයන් හට තරා තිරම නොබලා දඬුවම් දීමට කටයුතු යොදා ඇති බවත් කථාවට වඩා ක්‍රියාවට ගරු කරන රාජ්‍ය පාලනයක් ඇති කිරීම සිය අරමුණ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here