Home Business ‘ඉස්සරහට ආර්ථිකය කඩාවැටුණ එකටත් මිනිසුන්ට බණීවි – තුවක්කු පෙන්නලා වෙළඳපොළ පාලනය කරන්න...

‘ඉස්සරහට ආර්ථිකය කඩාවැටුණ එකටත් මිනිසුන්ට බණීවි – තුවක්කු පෙන්නලා වෙළඳපොළ පාලනය කරන්න බෑ’

290
0

වසංගත තත්වය එක්ක ආණ්ඩුව ආර්ථික වශයෙන් හිරවෙලා ඉන්න බව පැහැදිලිව පෙනෙනවා. දැන් රටේ ආර්ථික තත්වය ගැන සම්පූර්ණ අදහස මොකක්ද?

මේ සම්පූර්ණ තත්වය බලන්න ඕනෑ. මූලිකව කොහොමද අපි රට ඉස්සරහට අරගෙන යන්න ඕනෑ කියන අදහසෙන්. එක් පැත්තකින් වසංගතය. අනෙක් පැත්තෙන් ආර්ථිකය. වසංගතය රජය අතින් ගිලිහිලා. ආර්ථිකය කළමණාකරණයත් ගිලිහිලා. මේක නිකම් රුවලක් නැති නෞකාවක් වගේ. ඔහේ පාවෙනවා. ඔහේ හුළඟත් එක්ක එහේ මෙහේ වැනෙනවා. දැන් රට තල්ලු වෙලා තියෙන්නේ කවදාවත් නොතිබුණ තත්වයකට. ආණ්ඩුවේ නායකයන්ට මේ තත්වයෙන් ගොඩ එන ආකාරය ගැන අදහසක් නැහැ.

ආර්ථිකයේ දුර්වලතාව හඳුනාගැනීම සඳහා පෙන්වන්න තියෙන කාරණා මොනවාද?

මූලික ගැටලු ඕනෑ කෙනෙක්ට දැකබලාගන්න පුළුවන්. අලුතෙන් කියන්න තියෙන දේ තමයි, දැන් අපි රතු කලාපයට ඇවිත් ඉන්න බව. අපි මේ නැව පාලනයට ගන්න එපැයි. ඒකට අපට දැන් බාහිර උපකාර අවශ්‍ය වෙනවා. අපට Covid-19 පාලනය කරන්න වෙන්නේත් බාහිර උපකාර ලබාගෙන. උදාහරණයක් ලෙස වසංගතය පාලනයට යම්කිසි එන්නතක් යම් රටක හදනවානම්, ඒක ලබාගන්න අපට සිද්ධවෙනවා. අද හෝ හෙට එන්නත එන එකක් නැහැ. ආර්ථිකයත් ඒ වගේ තමයි. අපට තනිවම විසඳාගන්න පුළුවන් තත්වයෙන් එළියට ගිහින්.

මූලික ප්‍රශ්නය මොකක්ද?

අපට මහා ණය කන්දරාවක් 2021 දී ගෙවන්න තියෙනවා. මේ අවුරුද්දේ තව මාසයයි තියෙන්නේ. ගෙවන්න තියෙන ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් 5ක් විතර. ඒකෙන් 4ක් පිටරට අයට. ඉතිරි බිලියන 1 ලංකාවේ අයට ඩොලර් වලින් ගෙවන්න ඕනෑ. ඒ වාණිජ බැංකුවලට නිකුත් කරපු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් ලබාගත් ණය. ඒවායේ තියෙන්නේ බැංකුවල තැන්පත් කරපු ශ්‍රී ලාංකිකයන් සතු ඩොලර්වලින්. මගේ ගණනයන්ට අනුව අපට විදේශ ජංගම ගිණුමේ ඇමෙරිකන් ඩොලර් බිලියන 2ක විතර හිඟයක් තියෙනවා. ඒ තමයි ආනයනය කරන භාණ්ඩ හා සේවා දෙකම එකතු කළාම, අපට ලැබෙන ප්‍රේෂණ එකතුවුණාම ඉතිරි හිඟය. එතකොට අපේ ආර්ථිකයට තියෙන පරතරය සම්පූර්ණයෙන් ඩොලර් බිලියන 7ක් විතර. අපි කොහොමද ඒ මුදල හොයාගන්නේ.

මෙහෙම වෙලාවක සාමාන්‍යයෙන් කරන්නේ මොකක්ද?

සාමාන්‍යයෙන් අපි කරන්නේ, අපට ගෙවන්න තියෙන පොළිය හැර, ලබාගත් ණය මුදලේ නැවත ගෙවන කොටස නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ලබාගන්නවා. අපි හිතමු බිලියනයක් ගෙවන්න තියෙනවා කියලා, ඒක අපි නැවත ලබාගන්නවා. ඒකට අපි කියන්නේ රෝල් ඕවර් කියලා. සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ රෝල කියලා. රෝල ගහන එක හොඳ දෙයක් නෙවෙයි. එහෙත්, අපි කරමින් හිටියේ ඒක. ජාත්‍යන්තර සමාජයට විශ්වාසයක් තියෙනවා, මේ මිනිසුන් ණයක් ගෙවාවි කියලා. එතකොට අපට ණයක් ගෙවනවා.

අපි රෝල් ඕවර් එකක් කරනකොට අලුතින් පොලියක් එකතු වෙනවා නේද?

ඔව්, අපට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් තමයි ණය මුදල් ගන්නේ. අපි ඒකේ පොළිය ගෙවනවා. අවුරුදු පහක් හෝ දහයක් ඉවරවුණාම සම්පූර්ණ මුදල ගෙවන්න ඕනෑ. අපි ඔක්තෝබර් මාසයේදී ගෙව්වේ ඒ වගේ එකක්. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලයේ ගත්ත එකක්. රාජපක්ෂ මහත්තයාගේ කාලයේ ගත්ත තවත් ණය 2021 දී ගෙවන්නත් තියෙනවා. අපට කලින් වගේ මේ පාර රෝල් ඕවර් කරගන්න බැරි වෙනවා.

ඒ ඇයි?

දැන් ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාව ගැන තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. ඒගොල්ලන් පොළිය හැටියට ගණනය කළොත්, වාර්ෂිකව සීයට 35 විතර දක්වා පොලියකට තමයි අපේ ණය ද්විතීය වෙළඳපොළේ විකිණෙන්නේ. ඒ අපේ ණය. සාමාන්‍යයෙන් ණය විකුණන්න පුළුවන් ද්විතීය වෙළඳපොළේ. කොහොම නමුත් අපට ඒ පොළියට ජාත්‍යන්තර වෙළඳපොළේ ණය ගන්න බැහැ. ඒ නිසා තමයි අපට එක ඩොලරයක්වත් බැඳුම්කරවලින් ගන්න බැරි වෙලා තියෙන්නේ.

ආණ්ඩුව මේ තත්වය පිළිගන්නේ නැහැ…
ඒක තමයි. ජනාධිපතිවරයා කියන්නේ කිසි ප්‍රශ්නයක් නෑ, ආර්ථිකය ටිකෙන් ටික වර්ධනය වෙනවා කියලයි. කලබල වෙන්න ඕනෑ නැහැ, අපට ඕනෑ තරම් ආයෝජකයන් ඉන්නවා කියලා කියනවා. අජිත් නිවාඞ් කබ්රාල් එයාගේ අලුත්ම මෙවලම හෙළි කළා. ඒ තමයි පිටරට කට්ටිය ලංකාවේ ආයෝජනය කරනකොට විනිමය අවදානම අනවශ්‍ය බව. රුපියල අවප්‍රමාණය වුණාට ඒක ආයෝජකයන්ට බලපාන්නේ නැති බවත්, ඒ අවප්‍රමාණය වන මුදල ලංකාවේ බදු ගෙවන්නන් දරන බවත් ඔහු කීවා.

ඒ අනුව යම් ආයෝජකයෙක් මෙහේ ආයෝජනය කරනකොට තිබුණ ඩොලරයේ අගය ඔවුන් නැවත යනකොටත් ලැබෙනවා….
එහෙම කීවාට, දැන් ප්ලේන් පුරෝලා ආයෝජකයන් ඒවිද කියලා බලාගෙන ඉන්නකෝ. අලුත් ආයෝජකයන් නෙවෙයි, තිබුණ ඒවාත් ගියා. ඇත්තටම ඒක වැඩ කරන්නේත් නැහැ. ඒ අතරේ චීනෙන් ආධාර ඉල්ලුවා. ඒත්, හිතපු තරම් ගාණක් ලැබුණේ නැහැ. ඩොලර් බිලියන 1.2ක් ගන්නවා කීවාට තවම ඇවිල්ලා නැහැ. ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.4ක් ගන්නවා කීවාට මිලියන 400යි ඇවිල්ලා තියෙන්නේ. ඒකත් සාග් රටවල්වලට කොහොමත් දෙන එකක් මිස ලංකාවට විශේෂයෙන් දෙන එකක් නෙවෙයි. ඔවුන් හිතාගෙන ඉන්න විදියට ඉන්දියාවෙන් සහ චීනයෙන් ඩොලර් බිලියන 2ක්වත් ලැබෙනවා කියලා හිතමු.

ඒත් මදි…
ඒක තමයි. අපි හිතමු ඒ එක් රටකින් බිලියනය බැගින් ලැබුණා කියලා. ඒ අනුව තවත් බිලියන 5ක හිඟයක් අපට තියෙනවා. මම කලින් කීවානේ, අපට 2021 දී සම්පූර්ණයෙන් බිලියන 7ක හිඟයක් තියෙනවා. ඉතිරි පහ අතරේ තියෙනවානේ ලංකාවේ බැංකුවලින් ගත්ත බිලියනයක ණය. අපි හිතමු ඒ බැංකුවලට සත්තම දාලා, මේක රෝල් ඕවර් කරන්ක කියලා ආණ්ඩුව කීවා කියලා. ආණ්ඩුව යම් බලපෑමක් කරනකොට බැංකුවලට කරන්න සිද්ධ වෙනවා. එතකොට තවත් බිලියන 4ක් ඉතිරි වෙනවා. ඒවා ගෙවන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නය.

සංචිතවලින් ගෙවන්න බැරිද?

සංචිත තියෙන්නේ බිලියන 5.8ක් වගේ. ඒවාවලින් ඩොලර් බිලියනයක් උපරිම ගන්න පුළුවන් වේවි. ඒ ගත්තත් මදි. ඊළඟට මොකද වෙන්නේ. මට පෙනෙන විදියට ආණ්ඩුව ලොකු වැඩපිළිවෙලක් ගෙනියනවා ඉඩම් සහ දේපළ විකුණන්න. ඒත් ඒකෙන් ප්‍රශ්නය විසඳාගන්න බැහැ. ඒ නිසයි මම කීවේ බාහිර උදව් ඕනෑ බව.

දැන් ගන්න පුළුවන් උදව්ව මොකක්ද?

අපට මොරටෝරියම් එකක් හෙවත් ණය ගෙවීමට පමා සහන කාලයක් ඉල්ලන්න වෙනවා. එහෙම එකක් නැතිව ප්‍රශ්නයෙන් ගොඩ එන්න බෑ. එහෙම ඉල්ලන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට යන්න වෙනවා. මොකද, අපට ණය දුන් සියලුදෙනා එක්ක සාකච්ඡා කරලා මොරටෝරියම් එකක් ඉල්ලන්න බෑ. මොකද, අපේ ස්වෛරී බැඳුම්කර විවිධ පාර්ශ්වවලින් අරන් තියෙනවා. ආයෝජකයන් ගොඩක් ඉන්නවා. තනි තනි ආයෝජකයන් එක්ක කතා කරන්නත් බෑ. එක් ආයෝජකයෙක් එක්ක කතා කරන්න බෑ, ඔවුන් අහනවා අනෙක් අයගෙන් ඉල්ලන්නේ නැත්තේ ඇයිද කියලා. ඒ නිසා මේක කරන්න පුළුවන් ආයතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපි මාස දහඅටක්, විසිහතරක්, තිස්හයක් විතර කාලයක් පොළිය සහ වාරිකය ගෙවීමට ලබාගන්න පුළුවන්. ඒ අනුව දේශීය ණය සහ විදේශීය ණය දෙකම කල් දමාගන්න වෙනවා. අපි මාස විසිහතරකට විදෙස් ණය කල් දමාගත්තොත්, ලබන අවුරුද්දේ ඩොලර් බිලියන 4ක් ඉතිරි කරගන්න පුළුවන්. ඊළඟ අවුරුද්දේත් ඩොලර් බිලියන 5ක් විතර ඉතිරි කරගන්න පුළුවන්. එහෙම වුණොත් අපට හුස්මක් අරගෙන, යම් මාර්ගයක් හදාගන්න ඉඩ ලැබෙනවා. දැනට අපට තියෙන එකම ගැලවුම් මාර්ගය ඒක. ඒක හරියට කරගත්තොත් හුස්ම හිර නොවී බේරෙන්න පුළුවන්.

ආණ්ඩුව ඒක නොකරන්නේ ඇයි?

ඒක කරන්න නම් ආණ්ඩුව තමන්ගේ කයිවාරුව නවත්වාගන්න ඕනෑ. ඊට පස්සේ එක් එක් අයට බණින්නේ නැතිව අපි කියන දේ කරන්න ඕනෑ. ඇත්තටම මම තමයි යා යුතු මාර්ගය ප්‍රසිද්ධියේ ආණ්ඩුවට කියන කෙනා. මේක තමයි ඉතිරිවෙලා තියෙන මාර්ගය. ඔවුන් කියනවා, එයාලා කොන්දේසි දායි, බාධා කරයි කියලා. එහෙත්, අපි තේරුම් ගන්න ඕනෑ ජාත්‍යන්තර විශ්වාසය ලබන්න නම් ආර්ථික ප්‍රතිසංස්කරණය කරන්න සූදානම් කියලා පෙන්වන්න ඕනෑ.

ආර්ථික ප්‍රතිසංස්කරණ මොනවාද?

දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අපේ බදු ආදායම අඩුයි. මේ පාර බදු ආදායම කෙතරම් වැටිලාද කිව්වොත් ලෝකයේ නැගී එන රටවල් අතර දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අඩුම බදු ආදායමක් ලැබෙන රට ලංකාව. අපි ඒවා තමයි අපි කරන්න ඕනෑ ප්‍රතිසංස්කරණ. අපි මූල්‍ය විනය රකින්න ඕනෑ.

ඒක කොන්දේසියක් බව කීවාට, මූල්‍ය විනය ආරක්ෂා කිරීම කියන්නේ අපේම ආර්ථිකයට යහපත් දෙයක් නේද?

ඒක තමයි. අපි ප්‍රගතිශීලී විදියට බලනවානම් ඒක තමයි හරි වැඬේ. අපට මූල්‍ය විනයක් ඕනෑ. අපිත් හැම එකම නොමිලේ බෙදලා, බදු ඔක්කෝම කපලා, ලක්ෂ ගණන් පඩි ගෙවන රස්සා දීලා, සල්ලි අච්චු ගහලා පඩි ගෙවලා ආර්ථිකයක් මෙහෙයවන්න බැහැ. පළවැනි මාස හතේ දත්ත අනුව බදුවලින් ලැබෙන ආදායම සහ අනෙකුත් භාණ්ඩාගාරයේ ආදායම් තියෙනවානේ. ඒකෙන් සීයට හැත්තෑඅටක් පඩි ගෙවීම වෙනුවෙන් විතරක් වියදම් කරලා. සම්පූර්ණයෙන් රජයේ ආදායමට සාපේක්ෂව පුනරාවර්තන වියදම් සීයට 191යි. පුනරාවර්තන වියදම එච්චර දැවැන්ත නම්, තියෙන අවුල තේරුම් ගන්න ආර්ථික විශේෂඥයෙක් වෙන්න ඕනෑ නැහැ.

මැතිවරණයට ගිය වියදමෙන් භාගයක් විතර තමයි තවම ගෙවලා තියෙන්නේ. මේ වගේ ගෙවීම් කරගන්න බැරි තත්වයක් තියෙනවා නේද?

ඒ ගෙවාගන්න බැරිව සිටියදී තවත් සේවකයන් එක්ලක්ෂ පනස්දාහක් බඳවාගන්නවා. පාරවල් කිලෝමීටර් ලක්ෂයක් හදන්න යනවා. ඒ වෙනුවෙන් විශාල මුදලක් අයවැයෙන් වෙන්කරලා තියෙනවා. බොහෝ විට තියෙන පාරවල්වලට නැවත කාපට් දාන්න. හැබැයි PCR පරීක්ෂණ කරන්න සල්ලි නැහැ. ප්‍රමුඛතා සම්පූර්ණයෙන් මාරු කරගෙන ඉන්නේ.

ආණ්ඩුව ඉදිරියේදී එදිනෙදා වෙළඳපොළ කටයුතුවලට වැඩි වැඩියෙන් මැදිහත්වෙලා, ඒක පාලනය කරන්න උත්සාහ කරන බව කැබිනට් අමාත්‍යවරයෙකු කීවා. ඒක විසඳුමක් වේවිද?

ළඟදී හොඳ කාටූන් එකක් තිබුණා. ඩඞ්ලි සිරිසේන වැසිකිළියට ගිහින් පස්ස පැත්ත පිහදාන්න ටොයිලට් රෝලෙන් කොළ ගන්නවා. ටොයිලට් රෝල හදලා තියෙන්නේ, හාල්වලට ගහපු ගැසට්වලින්. දැනටත් ගැසට් පහක් විතර ගහලා තියෙනවා. ඒවා ඩඞ්ලි මහත්තයාගේ ටොයිලට් රෝල විදියට පාවිච්චි කරන තැනට වැටිලා. ගැසට් ගහලා වෙළඳපොළ පාලනය කරන්න බෑ. මේක වෙළඳපොළ මිසක් යුධපිටිය නොවන නිසා තුවක්කු පෙන්නලා වෙළඳපොළ පාලනය කරන්නත් බෑ. වියත්මගේ වියතුන්ගෙන් අපි බලාපොරොත්තු වුණේ මේක නෙවෙයිනේ. ඔවුන් සම්පූර්ණයෙන්ම වැඬේ අනාගෙන තියෙන්නේ. රජයට මැදිහත්වෙලා ප්‍රශ්නය විසඳන්න බැහැ. ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ වෙළඳපොළ හරියට පාලනය කරගන්නේ කොහොමද කියන එකෙන්. දැන් සීනිවලට තියෙන බද්ද අඩු කළා. ඒත්, බඩු මිල පහලට ගියේ නැහැ. ඒ වාසිය වෙළෙන්දන් ගන්නවා. අන්තිමට වුණේ ආණ්ඩුවට බදු ආදායමත් නෑ, මිනිසුන්ටත් සහනයක් නෑ.

ආණ්ඩුව පැත්තෙන් කරන්නේ වෙළෙන්දන්ට දොස් කියන එක. බාහිර පාර්ශ්වයන්ට දොස් නැගීම ජනාධිපතිවරයා නිතර කරන දෙයක්…
වෙළඳපල හැසිරෙන්නේ කොහොමද කියලා ඔවුන් තේරුම් ගන්න ඕනෑ. ජනාධිපතිවරයා කොවිඞ්-19 පැතිරීම ගැනත් මිනිසුන්ට බණිනවා. ඉස්සරහට ආර්ථිකය කඩාවැටුණ එකටත් මිනිසුන්ට බණීවි.

ඔබ හිතන විදියට මේක ආණ්ඩුවට උපදෙන් දෙන අයගේ වරදක්ද? ආණ්ඩුවේ නායකයන්ට තේරුම් ගන්න බැරි වීමද? වාමාංශික ප්‍රතිපත්ති අනුගමනය කිරීමද?

ප්‍රතිපත්ති නම් පෙනෙන්නේ නැහැ. ආණ්ඩුවේ නිලධාරීන්ගේ ලොකු උද්දච්චකමක් තියෙනවා. බොහෝ විට මේ කාරණා පෙන්වන්නේ මම. මම කියපු දේවල් කළොත්, ඒක තමන්ගේ අභිමානයට හානියක් කියලා ඔවුන් හිතනවා ඇති. නැත්නම් ඔවුන් හිතනවා ඇති, ආර්ථිකය නැවත ඉබේම රොකට් එකක් වගේ උඩට ඒවි කියලා. පිටරටවල්වලින් ආධාර ලැබේවි කියලා හිතනවා ඇති. මම ගිය මාසේ 15 වැනිදා විතර ට්වීට් එකකින් කීවා දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සීයට 17ක් විතර ඍණ මට්ටමේ කියලා. එහෙම කීවාම ඔවුන් ඒකේ වාර්තා නිකුත් කළේ නැහැ. නොයෙක් ඒවා කියලා ඒ තොරතුරු හැංගුවා. ඊට පස්සේ මහ බැංකුවේ නිවේදනයකින් කීවා 2020 ආර්ථිකය ඍණ 1.6ක් විතර වේවි, එතැනින් එහාට අඩු වෙන්නේ නැහැ කියලා. ඒත්, දැන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් කියා තියෙනවා ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඍණ 9-11 අතර වේවි කියලා. ඔවුන්ගේ මොඩලවලට අනුව දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඍණ දාහහමාරක් වේවි කියලා ඔවුන් කියනවා. මම ගිය මාසේ කීවේත් ඒක තමයි. ආණ්ඩුවත් ඒක දන්නවා. ඒත් ඒක හංගලා කොළේ වහනවා.

ආණ්ඩුව ආර්ථිකය වැටී තිබෙන තත්වය පිළිගන්නත් සූදානම් නැහැ…
මුදල් කාරක සභාවේ සභාපති විදියට යෝජනා කරලා තිබුණේ මගේ නම. ස්ථාවර නියෝගවලට අනුව ඒක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට දෙන්න ඕනෑ. ඒත්, ආණ්ඩුවේ අය කැමති නැහැ මා වගේ අය මැදිහත් වෙනවාට. තොරතුරු හෙළිදරව් වෙනවාට. ඒ නිසා ඔවුන් ස්ථාවර නියෝග වෙනස් කරලා, අත්තනෝමතික විදියට අනුර ප්‍රියදර්ශන යාපා එතැනට දැම්මා. අනුර යාපා හොයන විදිය සහ මා හිටියානම් හොයන විදිය අතර වෙනස අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෑ නැහැනේ. ආණ්ඩුව උත්සාහ කරන්නේ කොළේ වහලා තමන්ගේ අසාර්ථකත්වය යටපත් කරගන්නයි.

තරිඳු උඩුවරගෙදර
‘අනිද්දා’ පුවත්පත (2020-11-18)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here