Home Hit දෑස නොපෙනෙන ෂෙලිත් ශිෂ්‍යත්වය ඉහළින් ජය ගනී

දෑස නොපෙනෙන ෂෙලිත් ශිෂ්‍යත්වය ඉහළින් ජය ගනී

567

කෑගල්ල, අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දෑස නොපෙනෙන දමිළ ශිෂ්‍යයෙක් සිංහල භාෂාවෙන් බ්‍රේල් ක්‍රමවේදයට අධ්‍යාපනය ලබා මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වී ඇතැයි එම විදුහලේ විදුහල්පති බුද්ධික වික්‍රමනායක මහතා පවසයි.

කෑගල්ල, හබුදුගල පදිංචි ෂෙලිත් මයෝන් නම් ශිෂ්‍යයා මෙලෙස පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබේ.

උපත ලබන විට දෑස් හොඳින් පෙනුන ෂෙලිත්ගේ මොළයේ ඇතිවූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කිරීමෙන් වසර තුනකට පසුව මෙලෙස දෑස් නොපෙනී ගිය බව ඔහුගේ මව සඳහන් කළාය.

ඉන් අනතුරුව කෑගල්ල මහා රෝහල, මහනුවර මහා රෝහල සහ කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා යොමු වුව ද දෑස් පෙනීම ලබා ගත නොහැකි වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේ නමුත්, ඒ බාධා සියල්ල පසෙක ලා ෂෙලිත් හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇත.

ඔහුගේ පියා වන එම්. මහේන්ද්‍ර රාජා කෑගල්ල නගරයේ ටයර් වෙළෙඳ සලක සේවය කරන අතර මව වන එන්. දේව මනෝහාරී, ගෘහණියකි.

ෂෙලිත්ට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරියක සිටින අතර පවුලේ දෙවනියා ඔහු ය.

ඔහුගේ වැඩිමල් සහෝදරිය යාපනය විශ්වවිද්‍යාලයට තේරී ඇති අතර සිදුවූ අතපසුවීමක් නිසා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ඇයට නොහැකි වූ බව ද මනෝහාරී මහත්මිය පැවසීය.

නිසි වයස සම්පුර්ණ වූ පසුව ෂෙලිත් කෑගල්ල, රංවල ප්‍රදේශයේ පිහිටි අම්බන්පිටිය විශේෂ මහා විද්‍යාලයට ඇතුළත් කර තිබේ.

ඒ අනුව ඔහු එම විද්‍යාලයේ ම දෑස් නොපෙනෙන ගුරුවරයෙකු යටතේ අධ්‍යාපනය ලබා ඇත.

කෑගල්ල, අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ විදුහල්පති බුද්ධික වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ, දෑස් නොපෙනෙන උපාධිධාරී ගුරුවරයෙකු වන සිරිල් ජයවික්‍රම නම් ගුරුවරයාගේ කැපවීම මත සහ මෙම සිසුවාගේ දක්ෂතාවය මත මෙම ජයග්‍රහණය ලැබීමට හැකි වූ බවයි.

“මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වුණ එක ම ශිෂ්‍යයා තමයි ෂෙලිත් මයෝන්. මේ දරුවා දමිළ දරුවෙක්. නමුත් ඉගෙන ගත්තේ සිංහල භාෂාවෙන්, බ්‍රේල් ක්‍රමයට. ඔහුට ඉගැන්වීම් කටයුතු කළේ සිරිල් ජයවික්‍රම ගුරුතුමා. ඔහු උපාධිධාරී ගුරුවරයෙක්. ඔහුගේත් ඇස දෙක ම පෙන්නේ නැහැ. මේ ගුරුවරයාගේ කැපවීම මත මේ දරුවා ශිෂ්‍යත්වය සමත් වුණා,” යැයි විදුහල්පතිවරයා පැවසීය.

අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සමත් වී ඇති බවත් විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන් ද සිටින බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“පාසලට දරුවන් ඇතුළත් කරගැනීම සඳහා වසරකට අයැදුම්පත්‍ර විශාල ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් ඒ සියලුදෙනා ම ඇතුළත් කරගන්න විදියක් නැහැ අපට. හේතුව තමයි අපේ පාසලේ පහසුකම් මදි. පහසුකම් ලබාදෙනවා නම් අපිට මීට වඩා ප්‍රතිඵල පෙන්නන්න හැකියාව තියනවා,” යැයි ද විදුහල්පතිවරයා පැවසීය.

තම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ෂෙලිත් මයෝන් ප්‍රකාශ කළේ මෙවැන්නක්. “මට පළවෙනි ප්‍රශ්න පත්‍රය අමාරු වුණා. ඒත් දෙවන ප්‍රශ්න පත්‍රය ගොඩක් ලේසි වුණා. මගේ අනාගත බලාපොරොත්තුව හොඳට ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට ගිහින් උපාධියක් අරන් මං වගේ ඇස් නොපෙනෙන දරුවන්ට උගන්වන්න.”

අපේ පාසලේ බ්‍රේල් ක්‍රමයට ඉගෙන ගන්න මැෂිමක් නැහැ. කාට හරි පුළුවන්නම් අපේ පාසලට බ්‍රේල් මැෂිමක් ලබාදෙන්න, ඒක ගොඩක් වටිනවා.” යැයි ද ෂෙලිත්වැ ඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here