Home Hit රාජ්‍ය ඇමැතිවරයෙක් ‘ජල ගැලුම් නිම්නය’ ඩෝසර් කරන්න දඟලයි

රාජ්‍ය ඇමැතිවරයෙක් ‘ජල ගැලුම් නිම්නය’ ඩෝසර් කරන්න දඟලයි

619

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් කිලෝමීටර් 14කට ආසන්න පාරක් කැපීම සඳහා අනුමැතිය ලබා ගැනීමට පොළොන්නරුව දිස්ත්‍රික්කයේම රාජ්‍ය ඇමැතිවරයකු වනජීවි නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව අනාවරණය වේ.

ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය ප්‍රදේශයේ සිට යක්කුරේ දක්වා කාපට් යොදා මෙම මාර්ගය ඉදි කිරීමට දේශපාලඥනයින් සැලසුම් කර තිබේ. ජාතික වනෝද්‍යානය හරහා මෙම මාර්ගය ලබාදීමට වනජීවි කටයුතුවලට සම්බන්ධ රාජ්‍ය ඇමැතිවරයකුද සහයෝගය දක්වන බවට හෙළිදරව් වී ඇත.

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මෙම මාර්ගය ඉදිකළහොත් පරිසර ගැටලු රැසක් උද්ගතවන බව වනජීවි නිලධාරීහු පවසති.

අලි බහුලව ගැවසෙන හඳපානා විල්ලුව පිහිටා ඇත්තේද මෙම මාර්ගය සැලසුම් කර ඇති ප්‍රදේශය ආශ්‍රිතවය. මාර්ගය ඉදිකළහොත් අලින්ට වාසස්ථාන අහිමිවීමෙන්, අලි ගම්වැදීම ඉහළ යෑමේ අවදානමක් උද්ගතවනු ඇතැයිද පරිසරවේදීහු සඳහන්කරති.

මෙම පරිසර පද්ධතිය දැවැන්ත ගස් සහිත සංවේදී පරිසර කලාපයකි. දැව ජාවාරම සහ මහවැලි ගඟේ මහා පරිමාණයෙන් වැලි ගොඩ දැමීම ඉලක්ක කර ගනිමින් අදාළ රාජ්‍ය ඇමැතිවරයා මෙම මාර්ගය ඩෝසර් යොදා කැපීමට සැලසුම් කර ඇති බවට සැකකෙරේ.

මේ පිළිබදව විශේෂ සාකච්ඡාවක් පොළොන්නරුවේදී පෙරේදා (15 වැනිදා) පැවැති අතර එම අවස්ථාවට අදාළ රාජ්‍ය ඇමැතිවරයාත් සහභාගිවී ඇත. වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර සහ වනජීවි නිලධාරීහු කණ්ඩායමක්ද මීට සහභාගිවී ඇත. එහිදී අදාළ රාජ්‍ය ඇමැතිවරයා පැය එකහමාරකට ආසන්න කාලයක් වනජීවි නිලධාරීන්ට දිගින් දිගටම බලපෑම් කර ඇත්තේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගය ඉදිකිරීම සඳහා අනිවාර්යයෙන්ම අනුමැතිය ලබාදිය යුතු බව පවසමිනි. නමුත්, වනජීවි නිලධාරීන් පවසා ඇත්තේ මාර්ගය ඉදිකිරීම නිසා ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට දැවැන්ත පරිසර හානියක් සිදුවන බවයි.

මෙවැනි සංවේදී පරිසර පද්ධතියක යම් සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම් අනිවාර්යයෙන්ම පරිසර ඇගයීම් වාර්තාවක්ද සකස් කළ යුතුය.

මේ පිළිබඳව වනජීවි හා වන සංරක්ෂණ ඇමැති සී.බී.රත්නායකගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ පොළොන්නරුව ජල ගැලුම් නිම්න පරිසර පද්ධතියට හානි කරන කිසිදු කටයුත්තකට තමා අවසරය ලබා නොදෙන බවයි.

මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය 1984 වසරේ අගෝස්තු මස 07 වැනිදා පිහිටුවන ලදී. මහවැලි ගඟ දෙපස මෙම ජාතික වනෝද්‍යානය පිහිටා තිබේ. අලි බහුලව මෙම පරිසර පද්ධතියේ ගැවසෙන අතර, වස්ගමුව සහ සෝමාවතිය ජාතික වනෝද්‍යානවලට අලි ගමන් කරන්නේද ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහාය.

අඹන්ගඟේ අංගමැඩිල්ල සිට වස්ගමුව දක්වා රජ බැම්ම ප්‍රදේශයෙන් පාලමක් ඉදි කිරීමටද අදාළ රාජ්‍ය ඇමැතිවරයා වනජීවි නිලධාරීන්ට බලපෑම් කරන බව වනජීවි නිලධාරීහු සඳහන් කරති. රජ බැම්ම ප්‍රදේශය අලි ගමන් කරන මාර්ගයකි. එමෙන්ම, අඹන්ගඟේ අලුත් වැව ප්‍රදේශය ආශ්‍රිතව වැලි ගොඩ දැමීම සඳහාද අදාළ රාජ්‍ය ඇමැතිවරයා පිඹුරුපත් සකසා ඇතැයි අනාවරණය වේ.

සාලිය කුමාර ගුණසේකර
අරුණ පුවත්පත (2020-11-17)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here