Home Hit මෙවර අයවැයේ ණය සීමාව බිලියන 2900ක්

මෙවර අයවැයේ ණය සීමාව බිලියන 2900ක්

332

2021 අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

ලබන වසරේ සේවා වියදම් සඳහා සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබා ගැනීම සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (17) පස්වරු 1.40ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කරන්නේ එය මෙරට 75 වන අයවැය වාර්තාව වන බවයි.

2021 මුදල් වර්ෂයට අදාළව රජයේ සේවා වියදම් සඳහා එමගින් වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 2678 ක්.

ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900 ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට එහිදී යෝජනා කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා සිට 21 වනදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 5 ට පැවැත්වෙනවා.

අදාළ කාලය තුළ පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා රැස්වීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථාව 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා ක්‍රියාත්මක අතර, තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

හෙට (17) දිනයේ විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යාංශයේ අවසරලත් නිලධාරින්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පාර්ලිමේන්තුව රැස්වන බව ද පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here