Home Hit ගෝඨාගේ අවුරුද්ද..

ගෝඨාගේ අවුරුද්ද..

408

“ගෝඨා ජනාධිපති වෙලා අවුරුද්දයි. කෝ මේ අවුරුද්දට ගෝඨා කරපු කිසි දෙයක් නෑනෙ”

“ඉස්සර හිටපු ජනාධිපතිවරුන්ගෙ පළවෙනි අව්රුද්දත් එක්ක බැලුවාම ගෝඨා ෆේල්…”

“මේ අවුරුද්දෙ වෙච්ච එකම දේ කොරෝනා ආපු එක විතරයි. දැන් ඒක ගෝඨාටත් පාලනය කරගන්න බැරිවෙලා”

මේ දිනවල සමාජ මාධ්‍යවල දිගට හරහට පළවෙන්නේ ආණ්ඩුවට එරෙහි මේ වගේ පෝස්ට්ය. සමහරු ගෝඨාගෙත් පලු ඇරලා විවිධ පෝස්ට් සමාජ මාධ්‍යවල පළ කර ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.
“අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා ගෝඨාට මෙහෙම ගහන එක හරිද-වැරදිද?”

ඒකෙ හරි වැරැද්ද හොයල බලන්න ගෝඨාට ඉස්සෙල්ලා මේ රට පාලනය කරපු ජනාධිපතිවරුන්ගේත්, ආණ්ඩුවලත් පළමුවැනි අවුරුද්ද දිහා හැරිලා බලන්න ඕනෑය.

1947න් පසු ලංකාවේ දේශපාලන ඉතිහාසය දිහා හැරිල බලනකොට මහ ඡන්දයකින් හෝ ජනාධිපතිවරණයකින් බලය ගත්ත කිසිදු නායකයෙක්ටවත්, ආණ්ඩුවකටවත් ගෝඨාට එල්ලවූ තරම් අභියෝගවලට මුහුණදීමට සිදුව නැත. 47න් පස්සේ ලංකාවේ බලය ගත්ත ඕනෑම රාජ්‍ය නායකයෙක්ට හරි ආණ්ඩුවකට හරි මුහුණ දෙන්නට සිදුවූ ලොකුම අභියෝග තුන වූයේ එක්කෝ උතුරේ යුද්ධයය. එහෙම නැත්නම් දකුණේ කැරැලිය. එහෙමත් නැත්නම් ලෝක ආර්ථික අර්බුදයන්ය. ඒවාත් ආවේ පළමු අවුරුදුවල නොවේ.

හැබැයි තමන්ගේ පළමු අවුරුද්දේ ගෝඨාට මුහුණදෙන්න සිදුවූයේ ඇහැට පේන්න තිබුණු උතුරේ යුද්ධය වගේ, දකුණේ කැරැලි වගේ, ආර්ථික අර්බුද වගේ සාමාන්‍ය තත්ත්වයන්ට නොවේ. මුළු ලෝකෙටම අසාමාන්‍ය විදිහට බලපෑ ඇහැට නොපෙනෙන කොරෝනා අර්බුදයට මුහුණදෙන්න ගෝඨාට තමන්ගේ පළමු අවුරුද්දේම සිදුවිය. මොකද මේ වගේ රෝග බියකට 1947න් පසු ලංකාවේ පමණක් නොව ලෝකයේවත් කිසිම රාජ්‍ය නායකයකු මුහුණදී තිබුණේ නැත.

1948 ඩී.එස්. පළමු වතාවට අගමැති ධුරයට පත්වී ආණ්ඩු පිහිටුවෙව්වාට පසු තමන්ගේ පළමු අවුරුද්ද කිසිම කරදරයක් නැතිව ගෙවා දැම්මේය.

ඩී.එස්.ට පසු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකත් තමන්ගේ පළමු අවුරුද්දේ කිසිදු ගැටලුවකට මුහුණ දුන්නේ නැත.
බණ්ඩාරනායකගෙන් පසු බලය ගත් මැතිනියටවත් පළමු අවුරුද්දේ ගැටලුවක් ඇතිවූයේ නැත. මැතිනියට මුහුණදෙන්න තිබුණු ලොකුම ගැටලුව පැනනැඟුණේ ජවිපෙන්ය. ඒ 1971 කැරැල්ලය. එතකොට මැතිනි සිටියේ තමන්ගේ ධුර කාලයේ අවසන් අදියරේය.

ඩඞ්ලිගේ පළමු අවුරුද්දේ කිසිම ගැටලුවකට මුහුණ දෙන්නට ඩඞ්ලිට සිදුවූයේ නැත. ජේ.ආර්.ගේත් එසේමය.
හැබැයි අර්බුදයකට මුහුණ දුන්නා නම් මුහුණ දුන්නේ ප්‍රේමදාසය. මොකද ප්‍රේමදාස බලයට පැමිණි පසු 88-89 කාලයේ ජවිපෙ භීෂණයත්, උතුරේ එල්.ටී.ටී.ඊ.යත්, ඉන්දීය සාම සාධක හමුදාවේ ප්‍රශ්නයටත් මුහුණදීමට ප්‍රේමදාසට සිදුවිය. හැබැයි ඒ සියල්ල ඇහැට පේන්න තිබුණු, කනට ඇහෙන්න තිබුණු ප්‍රශ්නය.

චන්ද්‍රිකාගේ කාලයේදීත් පළමු අවුරුද්ද කිසිදු ප්‍රශ්නයකින් තොරව ගෙවා දැමීමට ඇයට හැකි විය.
එමෙන්ම ගෝඨාගේ සහෝදරයා වූ මහින්දගේ කාලයේත් එසේමය.

ඒ නිසා ඒ හිටපු නායකයන්ගේ පළමු අවුරුද්දත් එක්ක ගෝඨා ජනාධිපති වෙච්ච පළමු අවුරුද්ද සංසන්දනය කරනවා නම් ඒක ගෝඨාට කරන ලොකු අසාධාරණයකි. මොකද ගෝඨා ජනාධිපති වීමෙන් පසු කොරෝනා වසංගතය ලංකාවට එද්දී හරියටම මාස හතරක් ගතවුණා පමණි. පළමු කොරෝනා රැල්ල ලංකාවට ආවේ පසුගිය මාර්තු මාසයේය.

ඒ එක්කම ගෝඨා ජනාධිපති ධුරයට පත්වෙද්දීම ගෝඨාට ලැබුණේ හරියට කෙළින් හිටගෙන වැඩ කරන්න පුළුවන් රටක් නොවේ. 2009 යුද්ධය නිමා කිරීමෙන් පසු පළමු වතාවට මේ රටේ බෝම්බයක් පත්තුවුණේ 2019 අප්‍රේල් 21 වැනි දිනය. ඒ, ජනාධිපතිවරණයට මාස කිහිපයක් තියාය. ඒ ප්‍රහාරයෙන් ජීවිත තුන්සිය ගණනකට වඩා විනාශ වූවා පමණක් නොව රටේ ආර්ථිකයද සම්පූර්ණයෙන්ම ඒ බෝම්බයෙන් විනාශ වී ගියේය. සංචාරක කර්මාන්තය බින්දුවටම වැටුණේය. බුද්ධි අංශ අකර්මණ්‍ය වී තිබිණ. රටේ ආරක්ෂාව භාරව සිටි ඉහළ තැන්වල තිබුණු හිල් හේතුකොටගෙන මුළු ආරක්ෂාවම බල්ලට ගොස් තිබිණ.

ඒ නිසා ජනාධිපති ධුරයේ දිවුරුම් දුම් සැණින් ගෝඨා මුලින්ම අත තිබ්බේ රටේ ආරක්ෂාවටය.
ඊළඟට ගෝඨා රට භාරගනිද්දී ආර්ථිකය තිබුණේ හොම්බෙන් ගිහින්ය. 2006 ඉඳන් 2014 දක්වා මහින්ද ආණ්ඩු කරපු කාලයේ රටේ ආර්ථික වර්ධනය 6.4%ක වේගයකින් පවත්වාගෙන ගියේය. 2019 යහපාලන ආණ්ඩුව ගෝඨාට රට භාරදෙද්දී රටේ ආර්ථිකය 2.3% දක්වා පල්ලම් බැස තිබිණ.

2006-2014 මහින්දගේ කාලයේ රුපියලේ අගය පහළ බැසීමේ ප්‍රතිශතය ලෙස වාර්තා වී තිබුණේ 2.8%කි. යහපාලන ආණ්ඩු කාලයේ රුපියල බාල්දු වීමේ ප්‍රතිශතය 6.7%ක් බවට ඉහළ නැඟ තිබිණි.

ගෝඨා ආණ්ඩුව භාරගනිද්දී ඩොලර් බිලියන 3ක ණයක් ගෙවන්නට සිදුව තිබිණ. රටේ භාණ්ඩාගාරය බින්දුවටම හිස්ව තිබුණත්, කොරෝනාවෙන් රටේ ආදායම බින්දුවටම වැටී තිබුණත් ණය ගෙවා ගැනීමට නොහැකි බංකොළොත් රටක් බවට වැදෙන්නට තිබූ හංවඩුව කොහොම හරි ගලවාගෙන පසුගිය ඔක්තෝබරයේ ගෝඨාගේ ආණ්ඩුව ඒ ණය බරින් ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවා දැමීමට සමත් විය. ගෝඨා භාරගත්තේ මේ විදිහට ආර්ථිකය අතින් ගන්නම දෙයක් නැතිව තිබූ රටක්ය.

මේ විදිහට බින්දුවටම වැටුණු රටේ ආරක්ෂාව හරියට හදන්න ගෝඨාට ලැබුණේ මාස තුනක් වගේ සුළු කාලයක්ය. බුද්ධි අංශ කෙළින් කටින් හිටවල පණගහල ගන්න ගෝඨාට ගියේ මාස තුනක් වගේ කෙටි කාලයක්ය. ඒ සියල්ල අවසන් කොට ගෝඨා ආර්ථික සටනට අත තියනවාත් එක්කම කොරෝනා වසංගතය ලංකාවට කඩා පාත්විය. ලංකාව පමණක් නොව කොරෝනාව මුළු ලෝකයේම කොන්ද කඩාබිඳ දැමීමට සමත් විය. මුළු ලෝකයේම රාජ්‍ය නායකයන් කොරෝනාව නිසා බරපතළ ප්‍රශ්නවලට මුහුණ දුන්නේය.

ගෝඨා පළමු කොරෝනා රැල්ල ආපිට හැරවූයේ මේ සියලු අමාරුකම් මැද්දේය. විපක්ෂය හතර වටේම මඩ ගැහුවත් රටේ ජනතාව මේ බව දනී. මොකද ජනතාව මෝඩ නැත. ජනතාව මෝඩයාට අන්දන්නට කිසිවකුටත් නොහැකිය. පහුගිය මහ මැතිවරණයේදී ජනතාව තුනෙන් දෙකේ බහුතරයක් ආණ්ඩුවට ලබාදුන්නේ ඒ ඇත්ත දන්නා නිසාය.
හැබැයි මේ දෙවැනි රැල්ල රට ඇතුළේ පැතිර යෑම ගැන ගෝඨාට මොනවත් කියන්නට බැරිය. මොකද කොරෝනා පළමු රැල්ල පරාද කළ නවසීලන්තයටත් දෙවැනි රැල්ලට මුහුණදීමට සිදුවිය. ඒ දෙවැනි රැල්ලේදී නවසීලන්තයේ පළාත් කිහිපයක්ම වසා දැමීමට එහි අගමැතිවරිය වූ ජෙසින්ඩා ආර්ඞ්න් හට සිදුවිය. එංගලන්තය අදටත් තියෙන්නේ මාසයක් තිස්සේ අගුළුදමාය.
ඒ අනුව ගෝඨාට රට ඉස්සරහට අරන් යන්නට තියෙන්නේ මේ දෙවැනි කොරෝනා රැල්ලත් එක්කය. පසුගිය ආණ්ඩුව ගත් බිලියන ගණන් ණය ගෙවන්නට තියෙන්නේ මේ දෙවැනි කොරෝනා රැල්ල මැද්දේය. ඒවා කරන්න තියෙන්නේත් කොරෝනා නිසා රජයේ අපේක්ෂිත ආදායම වූ බිලියන 800ක ආදායම බිලියන 400 දක්වා පහත වැටී ඇති පසුබිමකය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා මේ බව අනාවරණය කළේය.

අනෙක් පැත්තෙන් සංචාරක කර්මාන්තය යළි මුල සිටම පටන්ගත යුතුව තිබේ. පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂ ගණනක් අහිමිව ගොසින්ය. සෑම ආයතනයකම වැටුප් කපා දමා තිබේ. ඒ නිසා ගෝඨාට පළමුවැනි අවුරුද්දේ මුහුණ දීමට සිදුව ඇත්තේ ලංකාවේ හිටපු රාජ්‍ය නායකයන්ට පමණක් නොව ලෝකයේ හිටපු කිසිදු රාජ්‍ය නායකයකුටවත් මුහුණ දීමට සිදු නොවුණු බරපතළ ප්‍රශ්න වැළකටය.

ඒ නිසා විපක්ෂය හරි නම් කළ යුත්තේ ලෝක වසංගතයක් රටම ගිලගෙන ඇති මේ අවස්ථාවේ ඒකෙන් දේශපාලන වාසි ගන්න කතා කරනවාට වඩා මේ වසංගතයෙන් ගොඩගන්න ගෝඨාට ධෛර්ය ශක්තිය ලබාදෙන එකය. එහෙම නැතිව ගෝඨා ෆේල්, ගෝඨා ෆේල් කියමින් හන්දියක් හන්දියක් ගානේ කියවා කියවා ගියාට විපක්ෂය පාස් වෙන්නේ නැත.

උපුටා ගැනීම ‘විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත
මවුරට පුවත්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here