Home Hit සරසවි බඳවාගැනීමේදී අසාධාරණයට පත් සිසුන් වෙනුවෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය මානව හිමිකම් කොමිසමට

සරසවි බඳවාගැනීමේදී අසාධාරණයට පත් සිසුන් වෙනුවෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය මානව හිමිකම් කොමිසමට

370

2019/20 අධ්‍යයන වර්ෂය සඳහා සරසවිවලට සිසුන් බඳවාගැනීමේදී අනුගමනය කළ ක්‍රියාපටිපාටිය නිසා සිසුන් ලක්ව ඇති අසාධාරණය පිළිබඳ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් අද දින (13) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්කරන ලදී.

එම පැමිණිල්ල බාරදීමෙන් පසු මාධ්‍යවෙත අදහස් දක්වමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මෙසේ ප්‍රකාශ කරන ලදි.

“සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අද මානව හිමිකම් කොමිෂන් සභාවට ආවේ 2019/20 සරසවි බඳවාගැනීමේදී ශිෂ්‍යයින්ට මතුවෙලා තියෙන ගැටලුව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවාගැනීමේදී සංයුක්ත මධ්‍යන්‍යය කියන ක්‍රමවේදය භාවිතා කිරීම හරහා අද වෙද්දී සුදුසුකම් ලබපු සිසුන් ගණනාවකට දැඩි අසාධාරණයක් වෙලා තියෙනවා. අපි අද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේ ඔවුන් ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (12) වගන්තිය උල්ලංඝනය කර තිබෙන බව සඳහන් කරන්න. මොකද අද වෙද්දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉන්නේ “මෙතන අසාධාරණයක් සිද්දවෙලා තියෙනවා, ඒත් අපට කරන්න දෙයක් නෑ” වගේ හැසිරීමක් පෙන්නුම් කරමින් ඉන්නේ.

නමුත් මීට පෙරත් විෂය නිර්දේශ වෙනස් වීමේදී අසාධාරණයට පත් වූ ශිෂ්‍යන්ට සාධාරණය ඉටු කරගැනීමට සිදු කල අධිකරණමය මැදිහත් වීම් සහ ශිෂ්‍යයින්ගේ අරගල නිසා ලබපු ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙම ප්‍රශ්නයේදීත් එවැනි ක්‍රියාදාමයක එක් පියවරක් ලෙස තමයි අද අපි මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ආවේ. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව තවදුරටත් ප්‍රකාශ කරමින් ඉන්නේ මෙවර බඳවාගැනීම්වලට යොදාගත් සංයුක්ත මධ්‍යන්‍ය ක්‍රමවේදය නිවරදි බවයි. නමුත් මෙම ක්‍රමවේදය නිසා අසාධාරණයට පත්වුණ සිසුන් ගැන අද වනවිට කිසිවෙකුත් වගකීම බාරගෙන නෑ. ඒ තත්වය හමුවේ අපට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට සිදුව තිබෙනවා. අසාධාරණයට පත් සිසුන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කිරීමට අවශ්‍ය නිර්දේශ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉදිරියේදී නිකුත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

අපි පහුගිය සතියේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මාධ්‍ය දැනුවත් කරලා මීට කලින් මේ වගේ ප්‍රශ්න ආපු අවස්ථාවලදී නීතිමය ක්‍රියාමර්ග හරහා විසඳුම් හොයන්න වුණ ආකාරය ගැන පැහැදිලි කිරීමෙන් දවස් කිහිපයකට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නැවත පැහැදිලි කිරීමක් එවලා තියෙනවා වෛද්‍ය පීඨ සඳහා සිසුන් තෝරාගත්ත ආකාරය ගැන. ඇත්තටම අපට වෛද්‍ය පීඨ අපේක්ෂිත සිසුන් ගැන විතරක් නෙවෙයි ප්‍රශ්නය තියෙන්නේ. මේ ප්‍රශ්නය ජීව විද්‍ය විශය ධාරාවේ සිසුන්ට වගේම ගණිත අංශයෙන්, වාණිජ අංශයෙන්, කලා අංශයෙන් වගේම තාක්ෂණ විශය ධාරාවෙන් පෙනී සිටි සිසුන්ටත් තියෙනවා.

අනිත් කාරණය තමයි, එයාලා කරපු පැහැදිලි කිරීම ඇතුලේ වෛද්‍ය පීඨ අපේක්ෂිත ශිෂ්‍යයන් ගැනවත් නිවැරදි පැහැදිලි කිරීමක් නෑ. මොකකද මෙතන ඔවුන් බඳවාගත්ත ප්‍රමාණය තියෙනවා. නමුත් අපට දැනගන්න ඕනි එහෙම බඳවගන්න පදනම් වූ කරුණු කොහොමද, ඔවුන් ඒ අනුපාත හදපු පදනම මොක්කද, කියන එක. ඒ වගේම තමයි නිවැරදි ක්‍රමවේදයක් හදන්නේ කොහොමද කියන එක.
ඒ ක්‍රමවේද හදන්න නම් තවදුරටත් තොරතුරු හංගගෙන ඉඳලා ඒක කරන්න බෑ. ඒකයි අපි දිගින් දිගටම කිව්වේ මේ පිළිබඳ තොරතුරු ශිෂ්‍යන්ට, ජනතාවට හෙළි කරන්න කියලා. හැබැයි ඔවුන් දිගින් දිගටම කරන්නේ තොරතුරු වසන්කරන එක. අපි දන්නේ නෑ ඒ ඇයි කියලා? ඒ හරහාම අපට සැකයක් පැනනගිනවා ඔවුන් තොරතුරු වසන් කරන්නේ, හංගන් ඉන්නේ මේ සම්බන්ධයෙන් ශිෂ්‍යයෝ දැනුවත් වෙලා ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න එක වළක්වන්න කියලා.

අපි දිගින් දිගටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැන්නුවා මේ කියන ක්‍රමවේදය ඉතිහාසයේ පාවිච්චි කරලා නෑ කියලා. මේ වගේ විෂය නිර්දේශ මාරු වෙච්ච අවස්ථා ඇති තරම් තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම වගේ ශිෂ්‍යයන්ට අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වුණා. ඒ නිසා හැමදාම වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එකක් කියනවා. ශිෂ්‍යයෝ නීතිය හමුවට ගිහිල්ලා ඊට වඩා හොඳ ප්‍රතිචාරයක් ලබාගන්නවා. මේ තත්වය 1980 ගණන්වල ඉඳලම විෂය නිර්දේශ මාරුවෙන අවස්ථාවල වුණා. සමහරවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාත් ඒකාලේ ශිෂ්‍යයෙක් විදියට ඉන්න ඇති. ඒකාලේ ඉඳන්ම මේ ප්‍රශ්නය තිබුණත් මේ සම්බන්ධයෙන් නිවැරදි ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා අදටත් ශිෂ්‍යයින්ට සටන් කරන්න, අධිකරණයට යන්න වෙලා තියෙනවා.

ඔවුන් මේ කියන ක්‍රමවේදය සියලු විෂයන්වලට අදාල කරගන්නත් බෑ. මේ වගේ ආසන්න අවස්ථාවක් 2011දී ආපු වෙලාවේ කරපු දේ තමයි මේ වගේ මධ්‍යන්‍ය අගයන් ගන්න එක වැරදියි කියලා බඳවාගැනීමේදී පසුගිය වසරවල තියෙන උපරිම අගයන් මත ගන්න කියලා කියපු එක. ඒ වගේම එම ක්‍රමවේදය තවදුරටත් ගැලපෙන්නේ නැති පාඨමාලා සඳහා තවත් විශේෂ ක්‍රමවේද සම්බන්ධයෙන් අවධානය යොමුකරන්න කියලා එවැනි ක්‍රමවේද හදපු එක.
නීතිවේදය සඳහා සිසුන් බඳවාගැනීමේදී ඔවුන් බඳවාගන්න යෝජනා කරපු සංයුක්ත මධ්‍යන්‍ය කියන ක්‍රමවේදය කොයි ආකාරයෙන් ගැලපෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම විශේෂයක් ලෙස තාක්ෂණවේදය විෂය ධාරාව ගත්තොත් එම ශිෂ්‍යයෝ පහුගිය අවුරුදු පහක් යනකල් විභාගවලට පෙනී ඉඳලා නෑ. ඒ නිසාම ඔවුන්ට සංයුක්ත මධ්‍යන්‍ය ක්‍රමවේදයක් හදන්නේ කොහොමද? ඔවුන් කියනවා සංයුක්ත මධ්‍යන්‍ය ගණනය කරන්න 2013 සිට 2017 දක්වා විතරයි සලකා බැලුවේ කියලා. එහෙමනම් 2017 වසරේ විතරයි තාක්ෂණ විෂය ධාරාවේ ශිෂ්‍යයෝ පළමුවර, දෙවනවර සහ තෙවනවර කියන කාණ්ඩ 3ක් යටතේ විභාගයට පෙනී ඉඳලා තියෙන්නේ. එහෙනම් එක නිර්ණායකයයි තියෙන්නේ. එක අංකයක් තියාගෙන ඒ අංකයේ මධ්‍යන්‍ය හොයන්නේ කොහොමද කියන එක ගැන ශිෂ්‍යයින්ව දැනුවත් කරන්න ඕනි. අපි දන්නේ නෑ එක අංකයකින් කොහොමද මධ්‍යන්‍යය හොයන්නේ කොහොමද? එහෙම ගණිතමය ක්‍රමවේදයක් තියෙන්නේ කොහේද කියලා. මේ වගේ සම්පූර්ණ වැරදි, එකකට එකක් නොගැලපෙන, පරස්පර උත්තර කියමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රශ්නය මගහරිනවා. ඔවුන් දැන් උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නය තවත් උඩුදුවන්න ඉඩහැදෙන විදියට, විශ්වවිද්‍යාල වහලා තියෙන මොහොතක විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කරන්න.

අපි හිතනවා විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඉක්මනින් බඳවගන්න ඕනි. ඒක සම්බන්ධයෙන් විවාදයක් නෑ. හැබැයි ඒ බඳවාගැනීම කරන්න ඕනි මේ ආකාරයෙන් ශිෂ්‍යයෝ අසාධාරණයට පත්කරලා, පීඩාවට පත්කරලා, සිසුන් කොටසකට සරසවි ප්‍රවේශ අහිමිකරලා නෙවෙයි. නිවැරදි ක්‍රමවේදයක් හදලා අවශ්‍ය බඳවාගැනීම් වැඩිකිරීම කියන පදනම යටතේ තමයි ඒක වෙන්න ඕනි.

මේ කරන්න හදන දේ නිසා වෙන්න තියෙන්නේ ප්‍රශ්නය තවදුරටත් උඩුදුවන් එක, වැඩිවෙන එක. ඒ නිසා අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සහ අධ්‍යාපන අමාත්‍යංශයට කියන්නේ තවත් මේ ප්‍රශ්නය උඩුදුවන්න දෙන්න එපා. ශිෂ්‍යයෝ මේ වෙනකොටත් නඩුමගට යන්න ඉන්නවා. ඉතින් එහෙම වෙලා මේ ප්‍රශ්නය තවත් කල් ඇදෙන්න ඉඩදෙන්න එපා. ඉතිහාසයේ මෙවැනි ප්‍රශ්නවලදී ගත්ත ක්‍රියාමාර්ග තියනවා. උපරිම අගය කියන ක්‍රමවේදය යටතේ සිසුන් බඳවගන්න. එම ක්‍රමවේදය නොගැලපෙන පාඨමාලා සඳහා විශේෂ ක්‍රමවේද යොදගන්න කියන බලපෑම අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටසහ අධ්‍යාපන අමාත්‍යංශයට යොමුකරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here