Home Hit දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අගමැති ප්‍රධානත්වයෙන් සමාරම්භ වෙයි! (PHOTOS)

දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අගමැති ප්‍රධානත්වයෙන් සමාරම්භ වෙයි! (PHOTOS)

212

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සොළොස්මස්ථානවලට අයත් දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (11) දින එකතු විය. එය නැගෙනහිර පළාතේ පිහිටි වැදගත්කමින් හා විශාලත්වයෙන් ප්‍රමුඛතම චෛත්‍යයයි.

ආගමික වතාවත්වලට අනතුරුව පිරිත් සජ්ඣායනා මධ්‍යයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කටයුතුවල සමාරම්භය සනිටුහන් කරමින් මුල්ගල තැබීම සහ පූජා භුමිය අලංකාරවත් කිරීම සඳහා ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක අතර එය ආරම්භ කරමින් එහි නා පැළයක් ද රෝපණය කිරීම අගමැති විසින් සිදුකරන ලදී.

මෙම ඓතිහාසික අවස්ථාවේ දී දීඝවාපී රාජමහා විහාරාධිපති, අම්පාර මඩකළපුව දෙ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සංඝ කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත සාම ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර, සද්ධර්ම කීර්ති ශ්‍රී, මුළු දිවයිනටම සාම විනිසුරු, ශාස්ත්‍රපති පූජ්‍ය මහඔය සෝභිත නාහිමියෝ අනුශාසනවක් පැවත්වූහ.

යුධමය වතාවරණය හමුවේ ජනශූන්‍යය වෙමින්, සංවර්ධනය අඩාල වූ උතුරු හා නැගෙනහිර සීඝ්‍ර සංවර්ධනය යථාවත් කිරීමට ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බව උන්වහන්සේ පැවසූහ. එසේ ම ජනාධිපතිවරයා ලෙස දීඝවාපී පුදබිම ගැසට් කිරීම මඟින් එය සංරක්ෂණය කිරීමටත් යුධ ගිනි නිවා රට එක්සේසත් කිරීමටත් කටයුතු කළ බව සිහිපත් කළ එහිමියන් අග්‍රාමාත්‍යවරයාගේ එළඹෙන උපන් දිනය වෙනුවෙන් ආශීර්වාද කිරීමට ද කටයුතු කළහ.

දිගු කාලයක් මුළුල්ලේ ස්වාභාවික හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිහානියට ලක්ව ඇති දීඝවාපී පුද බිම දශක කිහිපයක් පුරාවට කිහිප වතාවක් ශ්‍රී ලංකා රජය සහ වෙනත් පාර්ශවයන් මඟින් ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළ ද එම සෑම ප්‍රයත්නයක්ම අසාර්ථක වී තිබිණි.

ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ පූර්ණ දායකත්වය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමට අනුව වසර දෙකක කාල සීමාවක් තුළ චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂිත ය.
මීට සමගාමීව චෛත්‍ය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට නැවතීම සඳහා විශ්‍රාමශාලා ගොඩනැගිල්ලක් ද ඉදිකිරීමට නැ‍ගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමය කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු කාර්ය සාධක බලකාය සැලසුම් කර ඇත.

දීඝවාපී චෛත්‍යයේ චූඩා මාණික්‍යය, කොත් වහන්සේ සහ විහාරගෙය ද සඳහිරු සෑයේ සලපතල මළුව සහ විහාරගෙය ද නා උයන ආරන්‍ය සේනාසනයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, නා උයන මහා භාරකාර මණ්ඩලයේ ධන පරිත්‍යාගයෙන් ඉදි කිරීමට නියමිතය.

ඒ සඳහා රුපියල් මිලියන 76ක චෙක් පත නා උයන මහා භාරකාර මණ්ඩලයේ ලේකම්තුමා විසින් අග්‍රාමාත්‍ය වෙත භාරදීම ද මෙහි දී සිදු විය.

මෙම අවස්ථාව සඳහා උතුර සහ නැගෙනහිර දෙ පළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්වාමීන් වහන්සේ, නා උයන ආරන්‍ය සේනාසනයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය වැඩම කර වදාළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here