Home Coronavirus 2020 හුදකලා ප්‍රදේශ වලින් පිටතට එන්න දෙන්න එපා – ජනපති අවධාරණය කරයි

හුදකලා ප්‍රදේශ වලින් පිටතට එන්න දෙන්න එපා – ජනපති අවධාරණය කරයි

392

හුදකලා කරඇති ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට කිසිවෙකුට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට සිදුකරන සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පවසා ඇත.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බලකාය අද (11) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර, බෝනොවන රෝගවලින් පෙළෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරාගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

සෙසු රටවලින් මෙන්ම මෙරටින්ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93% කට හේතුව බෝනොවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම බව වෛද්‍යවරු පෙන්වා දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මේ අතර හෘද, දියවැඩියා, වකුගඩු සහ පිළිකා ආශ්‍රිත රෝගීන් ඉතා වේගයෙන් කොවිඩ් ආසාදනයට ලක්වෙන බවත් බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත්ව ඇති බවත් පසුව කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොවිඩ් අසාදිතයන් බවට තහවුරු වී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමුකර බෝනොවන රෝගවලින් පෙළෙන්නන් ආරක්ෂා කරගැනීමට සහ කොවිඩ් ආසාදනයෙන් වැළකීසිටීමට අදාළ උපදෙස්දීම හා දැනුවත්කිරීම් වහාම සිදුකරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දෙයි.

අද රැස්වීමේ දී කොවිඩ් ව්‍යාප්තිය සහ පාලනය පිළිබඳ වත්මන් තත්ත්වය මෙන්ම අනාගතයේ දී මතුවිය හැකි වෛරස ආශ්‍රිත රෝග පාලනය සහ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරනු පිණිස ගත යුතු ක්‍රියාමාර්ග සහ අධ්‍යයනය කළයුතු ක්ෂේත්‍ර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ප්‍රධාන රෝහල් වෙත පැමිණීමට ජනතාවට ඇති දුෂ්කරතා හඳුනාගෙන කලක් රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය බෙහෙත් ශාලා (ඩිස්පෙන්සරි) කඩිනමින් පූර්ණ සක්‍රීයත්වයට පත් කළයුතු යැයි ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒවාට අවශ්‍ය වෛද්‍ය, හෙද, වින්නඹු සහ සෙසු කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

හුදකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදාහැරීමට සම්බන්ධ වන පාර්ශ්ව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here