Home Coronavirus 2020 ‘ජනතාවට එදා තිබ්බට වඩා වැඩි වගකීමක්, අද වෙන කොට පැටවිලා තියෙනවා’ –...

‘ජනතාවට එදා තිබ්බට වඩා වැඩි වගකීමක්, අද වෙන කොට පැටවිලා තියෙනවා’ – GMOA

248

ඇඳිරි නීතිය ඉවත් කළ පසු ඇඳිරි නීතිය තිබූ කාලසීමාවටත් වඩා වැඩි වගකීමකින් ජනතාව කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි.

රට ඉදිරියට යන්නේ කොයිබටද දැයි තීරණය වන්නේ ඇඳිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල ජනතාව කටයුතු කරන ආකාරය අනුව බවත් සඳහන් කළ වෛද්‍ය හරිත අලූත්ගේ මහතා නැවතත් ඇඳිරි නීතිය දාගන්නවා ද එසේ නැත්නම් නව සාමාන්‍යකරණය සමග ඉදිරියට යනවාද යන්න තීරණය ජනතාව අත බවත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලූත්ගේ මහතා මෙසේ ද පැවසීය.

“මෙවර බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ඉවත් කළ ද ජනතාවට රෝගය නොකර සිටීමට මෙන්ම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා විශාල වගකීමක් තිබෙනවා. සෞඛ්‍ය පැත්තෙන් පමණක් හිතනවනම් රට වසා දැමීම හොඳ වුවත් රජයකට රටක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සෞඛ්‍ය අංශය පැත්තෙන්ම පමණක් තීන්දු තීරණ ගෙන කටයුතු කළ නොහැකියි.

ඒ නිසා නව සාමාන්‍යකරණය යටතේ ඇඳිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශයන්හි ජනතාවට අන් කවරදාටත් වඩා වැඩි වගකීමක් තිබෙනවා. රට ඉදිරියට යන්නේ කොහේදැයි තීරණය කරන්නේ ඇඳිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල ජනතාව කටයුතු කරන ආකාරය අනුවයි. නැවතත් ඇඳිරි නීතිය දාගන්නවා ද එසේ නැත්නම් නව සාමාන්‍යකරණය සමග ඉදිරියට යනවාද යන්න තීරණය කරන්න වෙන්නේ ජනතාවගේ හැසිරීමත් සමගයි.

ජනතාව මූලික සෞඛ්‍ය පුරුදු කිසිසේත් අත් නොහැරිය යුතුයි. එය අනිවාර්යෙන්ම පිළිපැදිය යුත්තක්. මුව ආවරණ පැළඳීම, අත් සේදීම, නියමිත දුර පවත්වාගෙන යෑම, ස්වසන සනීපාරක්ෂක පුරුදු අවබෝධයෙන් යුක්තව කළ යුතුයි.

මේ වන විට රට තුළ අසූ දාහක පමණ පුද්ගලයන් පිරිසක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටිනවා. අද ඇඳිරි නීතිය ඉවත් කිරීම ඒ අයට ගෙවල් වලින් එළියට යන්න දෙන ලයිසන් එකක් නොවන බව සිහියේ තබාගත යුතුයි. ඒ අය ඇඳිරි නීතිය ඉවත් කළත් නැතත් ගෙවල් වල රැඳී සිටීම අනිවාර්යයි. මෙම පිරිස සෞඛ්‍ය අංශ දෙන උපදෙස් මත තවදුරටත් කටයුතු කළ යුතුයි.

රටක් වශයෙන් මෙම ප‍්‍රශ්නයට මුහුණ දීමේදී ජනතාවගේ වගකීම ඉතාම වැදගත් කොටසක් බව සිහියේ තබා ගත යුතුයි. සෑම දෙනාම එම වගකීම තිබෙනවා. යම් පුද්ගලයෙක් සමාජය වෙත අවතීර්ණ වන්නේ නම් එය අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පමණක් විය යුතුයි. ගෙදර ඉඳන් වැඩ කළ හැකි අය ගෙදර සිට එම කටයුතු කළ යුතුයි. රජය විසින් නිකුත් කළ මාර්ග උපදේශනයන්ට අනුව රාජ්‍ය සහ පුද්ගලික අංශයේ අය කටයුතු කළ යුතුයි. ඇත්තටම එළියට බැසිය යුත්තේ අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු කරන අය පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here