Home Hit ලග්ගල මහ වනයේ බවුන් වැඩූ සුදු හාමුදුරුවෝ (PHOTOS)

ලග්ගල මහ වනයේ බවුන් වැඩූ සුදු හාමුදුරුවෝ (PHOTOS)

159
0

තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස් පන්සිය හැට හතරකි. දම් සෙනෙවි සාරිපුත්ත මහරහතන් වහන්සේ ද මහා සෘද්ධිමත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද පිරිනිවන් පා වසර දෙදහස් පන්සිය හැට පහකි. ධුතාංගධාරී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පා ආසන්න වශයෙන් වසර දෙදහස් පන්සිය විස්සකි.

විස්මය නම්, වසර දෙදහස් පන්සිය හැට පහකට පසුවත්, සාරිපුත්ත මහරහතන් වහන්සේට සම කළ නොහැකි වුවත්, උන්වහන්සේ සේ ධර්මය දරා සිටින මහ උතුමන් මිහිපිට පහළ වීම යි, මහ මුගලන් මහරහතන් වහන්සේට සම කළ නොහැකි වුවත්, සෘද්ධිමත් භාවයෙන් ලෝකයා විස්මයට පත් කරන මහ උතුමන් මිහිපිට පහළ වීම යි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස් පන්සිය විස්සකට පසු ව වුවත්, උන්වහන්සේට සම කළ නොහැකි නමුත්, උග්‍ර තපෝ ගුණයෙන් සහ රූක්‍ෂ ප්‍රතිපදාවෙන් යුත් මහ උතුමන් වහන්සේලා මේ පොළොව මත පහළ වීම යි.

වර්ෂ 1944 නොවැම්බර 12 වන දා ප්‍රංශ ජාතික ඕජේන් ජූන් පියාට දාව ප්‍රංශයේ Lyon ප්‍රදේශයේ උපත ලද ඩෙනී රොබට් ජූන් පුතු, මතු යම් කලෙක එබඳු සඟ පිය පරපුරක පා සටහන් මත පියවර නඟති යි කිසිවෙකු සිහිනෙනුදු නොසිතන්නට ඇත.

සිතන්නට හේතුවක් ද නැත. එක් පසෙකින් ලෝක යුද්ධයේ ගිනි දැල් ඇවිළෙද්දී අනෙක් පසින් සිතූ සිතූ කාම වස්තූන් සිතූ සිතූ පරිදි ලැබෙද්දී, දහමක සුළඟ වත් නොවැදෙන බිමක උපන් මනුෂ්‍ය පුත‍්‍රයෙකුට නෛෂ්ක‍්‍රම්‍ය සිතිවිලි පහළ වීම අතිශයින් දුර්ලභ ය. නැතහොත් විය නොහැකි ය. එහෙත් නො සිදුවිය හැක්කක් ම සිදු විය. එවකට ඩෙනී විසිහතර හැවිරිදි යෞවනයෙකි.

අතිශය සුකුමාර, කාම ශක්තියෙන් අනූන යෞවනය ගෙවමින් සිටි හේ සිත නිවන සනසන දහමක් සොයා පෙරදිගට යාත්‍රා කරන්නට තීරණය කළේ ය. මේ හා බැඳුණු අපූරු සිදුවීමක් ද වෙයි. ඩෙනී ගේ පියා වෛද්‍යවරයෙකි. ඔහුට සිය වෛද්‍ය සේවය සඳහා ලෝක යුද්ධය තදින් පැවති ජර්මනියේ දේශපාලන සිරකරුවන් රඳවා තබන කඳවුරකට යාමට සිදු විය. ඔහුගේ බිරිය ද එවකට ඉතා කුඩා වියේ පසු වූ ඩෙනී සමඟ ප්‍රංශයේ සිටියා ය. ජර්මනියේ දී ඔහුට ඩෙන්මාර්ක් ජාතික තවත් වෛද්‍යවරයෙක් හමු විය. ඔහු ද සිය බිරිය සහ දරුවා ඩෙන්මාර්කයේ තනි කර දමා පැමිණ තිබිණි.

මිතුරන් වූ මේ දෙදෙනා අතර අපූරු ගිවිස ගැනීමක් සිදු විය. සිය දෑස් ඉදිරිපිට එකිනෙකා මැරී වැටෙන මෙබඳු යුද්ධයක දී සිය ජීවිතය ද අවිනිශ්චිත බව තේරුම් ගත් ඔවුහු, එක් අයකු ගේ මරණය සිදු වුවහොත් අනෙකා ගේ බිරිය සහ දරුවා බාර ගන්නා බවට අන්‍යෝන්‍ය වශයෙන් ගිවිස ගත්හ. ටික දිනක් ගත විය. ප්‍රංශ ජාතික වෛද්‍ය ඕජේන් ජූන් ගේ මරණය සිදු විය. ඩෙන්මාර්ක් ජාතික වෛද්‍යවරයා සිය මවු රටට පෙරළා ගියත් ඔහු ගේ සිතේ මිත්‍රත්වයේ නාමයෙන් වූ ගිවිසුම මතකයේ තිබිණි.

ඩෙන්මාර්කයට ගිය වහා ම හෙතෙම ප්‍රංශයට ලිපියක් ලියා තැපැල් කළේ ය. වෛද්‍ය ඕජේන් ජූන් ගේ මරණය සිදු වූ බවත් මරණයට පෙර ඔහු හා තමා අතර වූ පොරොන්දුවකට අනුව ඔහු ගේ බිරිය හා දරුවා කැමති නම් ඩෙන්මාර්කයේ වෙසෙන තමන් බාරයට ගත හැකි බවත් මිතුරා වෙනුවෙන් ඔවුන් දෙදෙනාට අවශ්‍ය රැකවරණය සහ නඩත්තුව අවශ්‍ය කාලයක් යන තුරු සැපයිය හැකි බවත් දන්වා යවන ලදි. සිය අත දරුවා සමඟ තනි ව හුන් වෛද්‍ය ඕජේන් ජූන් ගේ බිරිය ද ඊට එකඟ වූවා ය. අනතුරු ව ඇය කුඩා ඩෙනී ද සමඟ ඩෙන්මාර්කයේ පදිංචියට ගියා ය. එතැන් සිට ඩෙනී රොබර්ට් ජූන් වැඩෙන්නේ පිය සෙනහස වෙනුවට ලද පියකු ගේ බඳු සෙනෙහසක් මැද ඩෙන්මාර්කයේ ය. විසිහතර හැවිරිදි වෙද්දී, පියා ගේ අහිමි වීම සහ මනුෂ්‍ය වර්ගයා ම මනුෂ්‍ය වර්ගයාට එරෙහි ව කළ මහා මනුෂ්‍ය සංහාරයක අඳුරු මතක විසින් ඔහු කම්පනයට පත් කරනු ලබන්නට ඇත. එහි ආවසානික ප්‍රතිඵලය නම් ඩෙනී තරුණයා දහම සොයා පෙරදිගට පැමිණීමට තීරණය කිරීම ය.

සිය පෙරදිග නවාතැන ලෙස ඔහු තෝරා ගත්තේ ඒ වන විට බුදු දහම සම්බන්ධයෙන් අපරදිග ඉතා ප්‍රසිද්ධියට පත් ව තිබූ ගාල්ල රජ්ගම පොල්ගස්දූව විවේක සේනාසනය යි. පොල්ගස්දූව ආරම්භ කළාහූ අතිපූජ්‍ය ජර්මන් ජාතික ඤාණාතිලෝක මහ තෙරුන් වහන්සේ ය. පසු ව උන්වහන්සේ ගේ ශිෂ්‍ය කඩුගන්නාවේ ඤාණාලෝක මාහිමිපාණන් වහන්සේ එහි ආධිපත්‍යය හොබවා වදාළ සේක. ඤාණාතිලෝක මාහිමිපාණන් වහන්සේ ගේ තවත් කීර්තිමත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වූ ඤාණපෝනික මාහිමිපාණන් වහන්සේ මෙකල මහනුවර උඩවත්ත කැළේ වන සෙනසුනේ සිට බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශනයට පත් කරමින් විශාල සසුන් සේවාවක් කරමින් සිටි සේක.

ඩෙනී තරුණයා පොල්ගස්දූවේ කාලයක් උපාසකයකු ලෙස හිඳ පසු ව එහි ම පැවිදි වීමට තීරණය කළේ ය. එම කාලයේ ම පොල්ගස්දූව සේනාසනයේ වැඩ විසූ, දැනට බම්බලපිටිය වජිරාරාමයේ වයෝවෘද්ධ ව වැඩ සිටින බොරැල්ලේ ඤාණපාල ස්වාමීන් වහන්සේට ඩෙනී ගේ ගිහි අවධිය පිළිබඳ ව තව ම මතකයේ ඇත. ඩෙනී ගේ පැවිද්ද සිදු වන්නේ 1969 සැප්තැම්බර 29 වන දා අතිපූජ්‍ය කඩුගන්නාවේ ඤාණාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් ‘ඤාණදීප’ යන නමිනි. ඊට වර්ෂ එකහමාරකට පසු ව 1971 මාර්තු 22 වන දා බුරුම ජාතික අතිපූජ්‍ය ඤාණින්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ උපාධ්‍යායත්වයෙන් පොල්ගස්දූව සෙනසුනේ ම බද්ධ සීමාවේ දී උපසම්පදාව සිදු වී ඇත. ඒ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි අමරපුර ශ‍්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායයට අනුබද්ධ ව ය. ‘ඤාණදීප’ හිමියෝ පැවිද්දට පෙර සිට ම පොල්ගස්දූවේ දී පාලි භාෂාව හැදෑරීම ආරම්භ කොට උපසම්පදාවෙන් වසර කිහිපයක් යන තුරු ම පොල්ගස්දූව පුස්තකාලයය සහ භික්ෂූන් වහන්සේලා ඇසුරින් පාලි භාෂාවත් ධර්මයත් උගත්හ.

පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ ස්වකීය කථිකාචාර්ය පදවිය හැර දමා පැමිණ පැවිදි වූ මෙකල පොල්ගස්දූවේ වැඩ විසූ කටුකුරුන්දේ ඤාණානන්ද හිමිපාණන් ‘ඤාණදීප’ හිමියන්ට පාලි භාෂාව ඉගෙනීමට උපකාර කළ බව ද, ඉගැනීමේ අසීමිත දක්‍ෂතාවකින් යුත් ‘ඤාණදීප’ හිමියන් වහා භාෂෝද්ග‍්‍රහණය කළ බව ද පසු කලෙක කටුකුරුන්දේ මාහිමියන් වදාරා ඇත.

මෙකල පොල්ගස්දූව ප්‍රකට ව තිබුණේ බටහිර ජාතිකයන් පැවිදි වීමට පැමිණෙන තපෝභූමියක් වශයෙන් පමණක් ම නොවේ. දහම සම්බන්ධයෙන් නොවහල් අදහස් ඇති ව, උග්‍ර තපෝ ගුණ දරා ගෙන හුදෙකලා ව අධිගම සාධනය පිණිස වීර්යය වැඩූ උතුමන් වහන්සේලා නිසා ද පොල්ගස්දූව කීර්තියට පත් වී තිබිණි. පොල්ගස්දූව පැවිදි ව අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහ නා හිමිපාණන් වහන්සේ වෙතින් උපසම්පදාව ලබා බූන්දල හුදෙකලා කුටියක වැඩ සිට ශ්‍රේෂ්ඨ ජීවිත හරණයක් සිදු කොට වදාළ ඉංග්‍රීසි ජාතික ඤාණවීර හිමිපාණන් ද, ඤාණවීර හිමිපාණන් සමඟ ම පැවිද්ද හා උපසම්පදාව ලබා ‘විසුද්ධි මග්ගය’ ඇතුළු කෘති ගණනාවක් ඉංගිරිසි බසට නැඟු ඉංගිරිසි ජාතික ඤාණමෝලි හිමිපාණන් ද, මහ කසුප් සිරිත සිහි ගන්වමින් උග්‍ර තපෝගුණයෙන් සහ ආත්ම පරිත්‍යාගයෙන් යුතු ව ලක් බිම පුරා ම පා ගමනින් පිඬු සිඟා වඩිමින් ධර්ම චාරිකාවේ වැඩම කළ ජර්මන් ජාතික ඤාණවිමල හිමිපාණන් ද ඤාණදීප හිමියන්ට පූර්වගාමී, විශිෂ්ට ආදර්ශයන් වන්නට ඇත.

සත්‍ය වශයෙන් ම උන්වහන්සේලා ලක් සසුනේ එක්තරා යුගයක පුරාවෘත්තයක් බඳු සලකුණක් ඉතිරි කොට ඇත. ආත්ම සුඛ පරිත්‍යාගයෙන් යුතු ව මගපල නිවන් ම සොයසොයා වැඩම කළ ඒ ශ්‍රේෂ්ඨ සඟ පිය පරපුරේ ධීර වීර මාවත උන්වහන්සේ ද ස්වකීය ජිවන මාර්ගය කොට ගෙන ඒ අනුව වසර කිහිපයකින් පසු ව පොල්ගස්දූවෙන් බූන්දල කුටියට වැඩම කළ සේක. බූන්දල කුටියේ වසර නවයක පමණ කාලයක් පිණ්ඩපාතික ව ඒක විහාරික ව වැඩ සිටිමින් හුදෙකලා ජීවිතයකට අවශ්‍ය පුහුණුව ලැබූ ඤාණදීප හිමියෝ තදන්න්තර ව වර්ෂ 1983 දී ලග්ගල ඊරියගස්උල්පත ප්‍රදේශයේ වන වාසයට වැඩම කළ සේක. එතැන් සිට දැඩි ලෙස ගිලන් වූ ජීවිතයේ අවසාන වර්ෂ කිහිපයට පැමිණෙන තුරු ම උන්වහන්සේට සෙවණ වූයේ මේ ලග්ගල මහ වනය යි. ඒ කාලය පුරා ම දන් දෙමින් උන්වහන්සේ පෝෂණය කළෝ ලග්ගල ගම්මාන වල ගැමියෝ ය. නිරන්තරයෙන් අලියාත් ඉඳහිට වලසා සහ දිවියාත් හොල්මන් කරන මේ මහා වනාන්තරයේ මනුෂ්‍ය වාසයේ සිට සැලකිය යුතු දුරක් ඇතුළත වරිච්චි ගැසූ බිත්ති තුනකින් ද, සිවුරක් පමණක් දැමූ ඉදිරිපස ආවරණයකින් ද, ඉළුක්, පොල් අතු ආදිය සෙවිලි කළ වහලකින් ද ගොම පිරිමැද සැකසූ ගෙබිමකින් ද යුතු අතිශය සරල කුටියක ලී දඬු හරස් කොට තනා ගත් ඇඳමැස්සක උන්වහන්සේ සතුටින් වැඩ සිටි සේක.

දිනකට වරක් ඉතා ම දිළිඳු ගැමියන් වෙත පිඬු පිණිස වැඩි සේක. කුටිය අසලින් මහ වන මැදින්, ඔය පිටාර දමමින් ගලන මහා වර්ෂා සමයේ පවා අඳන, සිවුරු වතුර බිඳකිනුදු තෙත් නොවී සැඬ පහර තරණය කොට අදටත් අදහාගත නොහැකි ලෙස පිඬුසිඟා වැඩි අයුරු ලග්ගල ගැමියන් අප සමඟ ම පවසා ඇත. කැත්තක්, මන්නා පිහියක් නොමැති ව යා නොහැකි මඟක තුත්තිරි ගසක් වත් නොපැටලී වැඩි අයුරු විස්මයාවහ ය. එලෙස මහ වන මැද හුදෙකලා ව වීර්යය වඩන භික්‍ෂු සම්ප‍්‍රදායයක මෑත අවදියේ පරමාදර්ශය උන්වහන්සේ ය.

එක් කුටියක දීර්ඝ කාලයක් ස්ථාවර ව වැඩ නොසිටින මාහිමිපාණෝ පොත්ඇටවෙල, මොරතැන්න, ගලමුදුන, ලේල්ඔය, මඩුමාන, රඹුක්ඔලුව, පුවක්පිටිය, කුකුළාමල්පොත, ආදී ලග්ගල ප්‍රදේශයේ ගම්මාන ඇසුරු කරමින් වනගත ව වැඩ සිටියහ. 1993 දී, වනගත ජීවිතයේ මුල් කාලයේ දී කලබල වූ අලියකුට පෑගීම නිසා පාදයේ අබාධයක් සිදු වී රැයක් පහන් වන තුරු ම අලි රංචුවට ම මැදිව පාදයේ තුවාලය ද සහිතව වන මැද වැටී සිටියත් උන්වහන්සේගේ ජීවිතයට කිසි දු අන්තරායයක් නොවීය. මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය පුත්‍රයා තව කාලයක් මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිණිස ජීවත් කරවිය යුතු යැයි ස්වභාව ධර්මය තීරණය කළා වැනි ය. ඉන් පසු ව මහා වනාන්තරවල මිනිස් කටහඬක් නොඇසෙන මානයේ පිහිටි කුටිවල ගෙවී ගිය දීර්ඝ රාත්‍රීන් පුරා සිරුර ලොමුදහගන්වන සිදුවීම්වල දී ලොමුදහ නොගෙන සිටි අයුරුත් අතිශය කම්පනීය සිදුවීම් හමුවේ අකම්පිත ව සිටි අයුරුත්, පුහුදුන් සිත් තැති ගන්වන සුලු අවස්ථාවන්හි දී තැති නොගෙන සිටි අයුරුත් දන්නේ උන්වහන්සේ ම පමණි.

මේ මුළු කාලය පුරා ම දවසකට වරක් වඩින පිණ්ඩපාතයටත් තෙමසකට වරක් වඩින ලග්ගල වනවාසී සඟ හමුවටත් පමණක් ම වනයෙන් පිටතට වැඩි උන්වහන්සේ ඉතිරි මුළු කාලය ම යෙදවූයේ ධර්මය අධ්‍යයනයට සහ භාවනාවට ය. කිසිදු ගිහි දායක-දායිකාවක ළඟීන් ඇසුරු නොකළ අතර දාන පින්කම් ආරාධනා ආදිය පිළිගැනීම ද නොකළ සේක. නිරන්තර ව ම මුල් බුද්ධ වචනයට සමීප වන අයුරින් ජීවිතය හසුරුවා ගැනීමට උනන්දු වූ මාහිමි දිවි සිරිත, හුදෙක් ස්වකීය ලෞකික අපේක්‍ෂා සාධනය සඳහා ම ශාසනය අවභාවිත කරන පැවිදි නොපැවිදි දෙපක්ෂයට නම් නිෂ්ක්‍රිය චරිතයක් වූවාට සැක නැත.

සීහො යථා දාඨබලී පසය්හ
රාජා මිගානං අභිභුය්‍යචාරී
සෙවෙථ පන්තානි සේනාසනානි
එකො චරෙ ඛග්ගවිසාණකප්පො
(සුත්ත නිපාත – ඛග්ගවිසාණ සුත්ත)

උන්වහන්සේ, ඛග්ග විසාණ සූත‍්‍රයේ වදාළ පරිදි ස්වකීය දළ බල කරණ කොට ගෙන කාය බලයෙන් සතුරන් අබිබවා වනයෙහි හැසිරෙන සිංහ රාජයකු පරිදි කෙලෙස් සතුරන් අබිබවා මහා වන මැද දුර සෙනසුන් ඇසුරු කරමින් කඟවෙහෙණ අඟක් සේ එකලා ව වැඩසිටි සේක. ගිහි පැවිදි ලෝකයා විස්මයට පත් කළ උන්වහන්සේ සතු පූර්වෝක්ත ඒකචාරී ස්වෛරී ගුණය කායික ව, මානසික ව මතු නොව දෘෂ්ටිමය වශයෙන් ද පිළිබිඹු වූ බව අප ගේ අදහස යි. අප උන්වහන්සේ සමීපයේ ඇසුරු කොට නැතත් උන්වහන්සේ ලියූ සීමිත ලේඛනවලින් ද දෙසූ ධර්මාවවාදවලින් ද යළි යළිදු තහවුරු වන්නේ ධර්මය හා සම්බන්ධ, පශ්චාත් කාලීන ව සංවර්ධනය වූ අදහස්වලට නොවහල්ව මුල් බුද්ධාධ්‍යාශයට ම සමීප වන්නට යත්න දැරූ අභීත ශ‍්‍රාවකයකුගේ සෙය්‍යාව යි.

මාහිමිපාණන් වහන්සේ නිරන්තරයෙන් අවවාද කොට ඇත්තේ සූත්‍ර දේශනා ම කියවන ලෙස බව සමීපයෙහි ඇසුරු කළ භික්ෂූන් වහන්සේ පවසනු අප අසා ඇත. සූත්‍රයක අදහස වටහා ගැනීමට තවත් සූත්‍රයක් ම උපකාර වන බව ද නිරන්තරයෙන් වදාළ සේක. සූත්‍ර දේශනාවලින් ද උන්වහන්සේ බෙහෙවින් ප්‍රිය කළේ මුල් බුදු සමයට වඩාත් සමීප යැයි විද්වතුන් විසින් ද තහවුරු කරන ලද සුත්ත නිපාතයේ අට්ඨක, පරායණ දෙවග්ගයට බව අප අසා ඇත. එම දේශනා සම්පූර්ණයෙන් ම පාහේ උන්වහන්සේට කටපාඩම් වූ අතර වරින් වර සජ්ක්‍ඞායනා ද කළ සේක. එම දේශනා ඉංගිරිසියට පරිවර්තනය කොට ‘The silent sages of old’ ( suttas from the suttanipata) යනුවෙන් උන්වහන්සේ ගේ පළමු සහ අවසාන කෘතිය ද ලෝකයාට දායාද කොට ඇත. අලජ්ජී ලාභාපේක්‍ෂාවන්ගෙන් පමණක් නොව දෘෂ්ටිමය වශයෙන් ද කිලිටි වී යන ශාසනය තුළ එවන් නොවහල් ස්ථාවරයක අපවත් වන තුරු ම පිහිටා සිටින්නට අවශ්‍ය විශාල නිර්භය භාවය ඒ අකලංක සන්තානය තුළ නො අඩුව පිහිටියේ ය.

වසර කිහිපයකට පෙර තරමක් ගිලන් වූ මාහිමිපාණන් වහන්සේ පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ශරීරය පුරා පැතිරී ගිය පිළිකාවකින් උන්වහන්සේ පෙළෙන බව යි. තමන් වහන්සේ ගේ ශරීරයත් රෝගයන්ට ගොදුරු වන ස්වභාවයෙන් යුතු බව මනා නුවණින් වටහාගෙන සිටි මාහිමිපාණන් වහන්සේ ඒ සදහා විශේෂ ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කළ සේක. සමීපව ඇසුරු කළ භික්ෂූන් වහන්සේලා ගේ බලවත් ඉල්ලීම පරිදි උන්වහන්සේලා ගේ ඇප උපස්ථාන ලබමින් වරින් වර මාතලේ ඕවිලිකන්ද, රෑනකිතුල්ගල ආරණ්‍යය, බලංගොඩ තංජන්තැන්න විවේක සේනාසනය, මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනය, මහනුවර උඩවත්ත කැළේ වන සෙනසුන ආදි සේනාසනවල විවේකී ව වැඩ සිටි සේක. පිරූ ගුණධර්ම හැරුණු කොට ආයාසයෙන් උපදවා ගත් කිසිවකිනිදු ජීවිතය පවත්වා ගෙන නොගිය මේ මහෝත්තමයන් වහන්සේ ආයාසයෙන් යන්ත්‍රසූත්‍ර මඟින් ස්වකීය හුස්ම පොද වත් පවත්වා ගැනීමට උත්සාහ නොකළ සේක. අනායාසයෙන් ම මනා සිහි නුවණින් ම 2020 සැප්තැම්බර මස 12 වන දා ඇත්දළගල ආරණ්‍යයේදී සිය අවසන් සුසුම් පොද වාතලයට මුසු කළ සේක.

සමහර විට ඒ සුසුම් පොද දීර්ඝ සංසාර චාරිකාවක හෙළු අවසන් සුසුම් පොද වන්නට ද ඉඩ ඇත. ඒ පිළිබඳ ව නිසැක වන්නට අපි, තරම් නොවන්නෙමු. එහෙත් මේ ලක් පොළොව මෑත යුගයේ දරා සිටි පුණ්‍යවන්ත ම මනුෂ්‍ය ශරිරය ඒ මහෝත්තමයාණන් වහන්සේ බවට නම් සැකයක් නැත. ‘‘තවමත් මෙසසුන සැබෑ බුද්ධශ‍්‍රාවකයන් ගෙන් හිස් නැතැ යි’’ මඳ සිනාවක් දරා ගත් මුව මඬලින් අපට සංඥා කරමින් උන්වහන්සේ නික්ම වැඩි සේක.

ඒ සඟ පිය පරපුරේ පා සටහන් රැඳුණ, මහා වනස්පතීන්ගෙන් සෙවුණු, සුදු වැලි අතුළ මාවත, දහස් ගණන් පශ්චිම ශ‍්‍රාවක සඟ පරපුරේ මාවත ම වේ වා යි අතිශය අපේක්‍ෂා සහගත ව ලක් බුදු සසුනේ අසීරු ම මොහොතක හිඳ ප්‍රාර්ථනා කරමු.

(තොරතුරු සපයා ගැනීමට උපකාර කළ ඩෙන්මාර්කයේ මෙත්තාවිහාරී, රම්මුතුගල බුද්ධවංශ, පෙතියාගොඩ චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පින් සිදු වේ වා!)

බම්බලපිටියේ සිරි වජිරාරාමයේ,
මීගොඩ සුඛිත හිමිපාණෝ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here