Home Hit IPL තරගාවලිය අද ඇරඹේ – එකම ශ්‍රී ලංකා නියෝජනය ඉසුරු උදාන

IPL තරගාවලිය අද ඇරඹේ – එකම ශ්‍රී ලංකා නියෝජනය ඉසුරු උදාන

417
0

2020 IPL ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අවස්ථා කිහිපයකදි කල්දැමුණේ Covid-19 වෛරසය එරට තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත විම හේතුවෙන්. ඒ අනුව නරඹන්නන්ගෙන් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙවර IPL ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කළා.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ශූරයින් වන රෝහිත් ෂර්මා නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ පසුගිය වර අනුශූරයින් වූ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අබුඩාබි හිදි අද තරග වැදීමට නියමිතයි. එම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.30ට ආරම්භ වනවා.

දින 52ක් පුරා පැවැත්වෙන මෙවර IPL තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 10 වැනිදා පැවැත්විමට නියමිතයි. අවසන් මහ තරගය පැවැත්වෙන දිනය ප‍්‍රකාශයට පත් කළද අවසන් වටයේ තරග පැවැත්වෙන දින වකවානු මෙතෙක් IPL තරග සංවිධායකයින් විසින් ප‍්‍රකාශයට පත්කර නැහැ.

IPL තරගාවලියන් ඉන්දියවෙන් පිටත පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර 2009 වසරේදී IPL තරගාවලිය සදහා දකුණු අප‍්‍රිකාව සත්කාරකත්වය දැරුවා. ඒ, එවක ඉන්දියාවේ පැවති මහ මැතිවරණය සහ ආරක්ෂක වාතාවරණය හේතුවෙන්.

මේ අතර මෙවර IPL තරගාවලියේ එකම ශ‍්‍රී ලංකා නියෝජනය වන්නේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඉසුරු උදානයි. ඔහු මෙවර විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරනවා. එහිදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම ඉසුරු උදානව මිලදී ගත්තේ ඉන්දිය රුපියල් ලක්ෂ 50කටයි.

ලසිත් මාලිංග පෞද්ගලික කරුණක් හේතුවෙන් මෙවර IPL තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන්නේ නැහැ. මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මුත්තයියා මුරලිදරන් ඩේවිඩ් වෝර්නර් නායකත්වය දරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙ පන්දුයැවීම් පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

මුම්බායි ඉන්දියන් කණ්ඩායම සිව්වතාවක් අයි පී එල් ශූරතාව දිනා ගත් අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවස්ථා 3කදී අයි පී එල් ශූරයින් බවට පත් වුණා. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අවස්ථා දෙකකදී අයි පී එල් ශූරතාව දිනා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here