Home Hit නව පාර්ලිමේන්තුවට නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 14ක්

නව පාර්ලිමේන්තුවට නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 14ක්

134
0

මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් 14 දෙනෙකු නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය සහ දුෂ්මන්ත මිත්‍රපාල ඒ අතර වනවා. මීට අමතරව, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, ලසන්ත අලගියවන්න මෙන්ම, චාමර සම්පත් දසනායක, ශාන් විජේලාන් ද සිල්වා, ශාන්ත බණ්ඩාර හා ජගත් පුෂ්පකුමාරට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මන්ත්‍රී ධුර හිමිවුණා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කළ අපේක්ෂකයින් 5 දෙනෙකු සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

එහි නායක විමල් වීරවංශ, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභික නිමල් පියතිස්ස ඊට අයත් වනවා. එසේම, ගාමිණී වලේබොඩ, රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

එමෙන්ම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට නම් කර තිබෙනවා.

මේ අතර, මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ඡුන්දයෙන් තේරීපත් වූ කාන්තාවන් සංඛ්‍යාව 8 ක් වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පවිත්‍රා වන්නිආරච්චි, මුදිතා ද සොයිසා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ගීතා කුමාරසිංහ, රාජිකා වික්‍රමසිංහ හා කෝකිලා ගුණවර්ධන ඊට අයත්.

එසේම, සමගි ජනබලවේගයේ රෝහිණී කුමාරි කවිරත්න සහ තලතා අතුකෝරාල ද මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ කාන්තා නියෝජිතවරියන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here