Home Hit මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (VIDEO)

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (VIDEO)

165
0

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් 3 දෙනා එළඹෙන 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය අද (04) නියෝග කරනු ලැබුවා.

වරෙන්තු නිකුත් කර දින 11කට පසු අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී අත්අඩංගුවට ගනු ලැබූයේ පෙරේදා දිනයේදීයි.

අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් තුන්දෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය වෙත අද රැගෙන එනු ලැබුවේ පස්වරු 1 ට පමණයි.

ඉන් අනතුරුව නඩු කටයුත්ත ආරම්භ වන තෙක් ඔවුන් සෙසු සිරකරුවන්ගෙන් වෙන් කර කාන්තා සිරමැදිරිය තුල රඳවා තැබෙන ආකාරය දක්නට ලැබුණා.

මෙහිදී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සචින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ සැකකරුගේ බිරිඳ මෙම සිද්ධියෙන් පසුව විශාල මානසික ආතතියකට පත්ව ඇති බවයි.

ඇය අංශභාග තත්ත්වයේ පසුවන බව ද නීතිඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කර සිටියා.

සැකකරුගේ දියණිය කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් ද වන බව සඳහන් කළ නීතිඥවරයා ඉල්ලා සිටියේ සුදුසු ඇපයක් මත අධිකරණය පනවන කොන්දේසියකට අනුව ඇප ලබාදෙන ලෙසයි.

සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ද ප්‍රකාශ කළේ තම සේවාදායකයන් විවිධ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන බවයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ කරුණු දැක්වූ කිසිකෙනෙක් අත්අඩංගුවට ගැනීමට නිකුත් වී තිබූ වරෙන්තුව ගැන වචනයක් හෝ කතා නොකළ බවයි.

නඩුවෙහි පළමුවන සැකකාර අනුරුද්ධ සම්පායෝ වරෙන්තුව නිකුත් කර දින 11 කට පසුව කුරුණෑගල බාලිකා විද්‍යාලයක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගැණුනා.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ගොස් තිබුණේ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ෆෙඞ්රික් වුඞ්ලර් නම් නිලධාරියායි.

ඔහු මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ තැබූ සටහනේ දැක්වෙන්නේ සාර්ථක බුද්ධි තොරතුරක් මත රතුපාට ජිප් රථයකින් කන්‍යාරාමය දෙසින් පැමිණි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම, අනුරුද්ධ සම්පායෝ තම පාසලේ ආදි සිසුවෙකු වූ බැවින් ඔහුට වරද කියා දී අත්අඩංගුවට ගත් බව ද අදාළ සටහනේ දැක්වෙනවා.

එමෙන්ම, අනුරුද්ධ සම්පායෝ පොලීසියට දුන් ප්‍රකාශයේ සටහන් වන්නේ තම පාසල් කාලයේ මිතුරෙකු වන ෆෙඞ්රික් වුඩ්ලර් නම් නිලධාරියා වරද කියා දුන් නිසා පොලීසියට භාර වූ බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ සැකකරුව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට මීගමුව පොලිස් ස්ථානය රජදහනක් කර තැබීම ගැටලූවක් බවයි.

අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු මීගමුව පොලීසියට ගෙන ආ අවස්ථාවේ සැකකරුට සහ ඔහුගේ සහෝදරයෙකුට පොලීසිය තුළදී තේ පැන් සංග්‍රහයක් ලබාදීම පිළිබඳව ද සටහනක් තබා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කියා සිටියා.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකුට ශීතකරණයක් ඇතුළු පහසුකම් ලබාදීමේ චෝදනා මත අනුරුද්ධ සම්පායෝ ඇතුලු සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 22 වනදා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව වරෙන්තු ලැබූ ජේලර් කාලිංග කළුඅග්ගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සෙසු ජේලර්වරුන් දෙදෙනා වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න පසුව අත්අඩංගුවට ගැනුණා.

කෙසේ වෙතත්, චෝදනාව එල්ල වූ ප්‍රධාන සැකකරු වන මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ වරෙන්තු නිකුත් කර දින 11ක් යන තුරුත් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ.

පසුව පසුගිය 2 වන දා පස්වරුවේ වරෙන්තු ලැබ සිටි 52 හැවිරිදි මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසළ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, විශේෂ බුද්ධි මෙහෙයුමකින් අනතුරුවයි. ඉන් අනතුරුව අනුරුද්ධ සම්පායෝ වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් අතර එම දෙපාර්තමේන්තුව මගින් ඔහු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස හමුවට ඉදිරිපත් කෙරුණා.

එම අවස්ථාවේදී සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇප ඉල්ලීමක් සිදුකළ අතර, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊට පළ කළේ දැඩි විරෝධයක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සදහන් කළේ සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ටයි කෝට් ඇඳ, එසේම ලංකා ඉතිහාසයේ පළමු වරට ද්විත්ව සැකකරුවෙකු පොලිස් ජීප් රථයක පසුපස සැප පහසු අසුනක හිඳගෙන මාධ්‍යයට ඉතා සැහැල්ලූවෙන් ප්‍රකාශ ඉදිරිපත් කළ බවයි.

එමෙන්ම, සැකකරු අධිකරණයට පැමිණියේ මුඛ ආවරණයක් හෝ නොමැතිව බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලීසිය කිලෝමීටර් 72ක් ගොස් ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම, ඊයේ දිනයේදී අනුරුද්ධ සම්පායෝ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මාංචු දැමීම සහ මුව ආවරණ දැමීම ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත්, ඔහු අද අධිකරණ පරිශ්‍රයට රැගෙන එනු ලැබුවේ මුව ආවරණ සහ මාංචු සහිතවයි.

ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අනුරුද්ධ සම්පායෝ සිය මුව ආවරණ ගලවා විසි කරන අයුරු ද දක්නට ලැබුණු අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊයේ දිනයේ ඒ පිළිබදව අධිකරණයේ අවදානය යොමු කෙරුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here