Home Hit “විශාඛා විදුහල්පතිනියට නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාදයි” ගුරු සංගමයෙන් චෝදනා

“විශාඛා විදුහල්පතිනියට නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාදයි” ගුරු සංගමයෙන් චෝදනා

126
0

මෙරට කීර්තිමත් කාන්තා පාසලක් වන කොළඹ විශාඛා විදුහලේ වර්තමාන විදුහල්පතිනිය වන සඳමාලි සන්ධ්‍යා කුමාරි අවිරුප්පල මහත්මියට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවෙන් චෝදනා 15 කින් යුත් චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කොට තිබෙනවා.


ඒ 2019 වසරට අදාළව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ඇයව වගඋත්තරකරු කරමින්.

චෝදනා පත්‍රයෙන් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ලේකම්වරයා සදහන් කර ඇත්තේ අදාල චෝදනා මඟින් ඇය රාජකාරී පැහැර හැරීම හෝ විෂමාචාරයන්හී යෙදීම යන වැරදි එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම සිදුකර ඇති බවයි.

2019 වසරේ පාසලට ළමුන් ඇතුළත් කිරිමේදී ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන්ගේ කාණ්ඩය යටතේ හා සහෝදර පදනම යටතේ, කාර්ය මණ්ඩලවලට අයත් තැනැත්තන්ගේ ළමුන්ගේ කාණ්ඩය යටතේ පදිංචිය තහවුරු කිරීමේ ව්‍යාජ ලිපි ලේඛන ලබා ගැනීම, පදිංචි ස්ථානයට ආසන්න වෙනත් පාසලක් තිබියදී එය නොසලකා හැරීම අධ්‍යාපන ලේකම්ගේ අංක 24/2018 චක‍්‍රලේඛයට පටහැනිව ලකුණු ලබාදීම වැනි චෝදනා 15 ක් මෙම චෝදනා පත්‍රයේ අන්තර්ගත වනවා.

මෙහි බරපතලම චෝදනාව වන්නේ එහි 15 වන චෝදනාවේ වන සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග‍්‍රහයේ දෙවන කාණ්ඩයේ 48 වන පරිච්ඡේදයේ පළමු වන උපලේඛනයේ 10 වන වගන්තියට ගැනෙන වරදක් සිදු කිරීමයි.

ඒ අනුව ඇයව සේවයෙන් පහ නොකිරීමට හෝ වෙනත් අයුරකින් දඩුවම් නොකිරීමට හේතු ඇත්නම් මෙම චෝදනා පත්‍රය ලැබී දින 30 ක් ඇතුලත් ඊට පිළිතුරු සපයන ලෙස 2019.09.25 දිනැතිව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ලේකම් ඒ.ඩබ්.ආර්. විමලවීර මහතාගේ අත්සනින් අදාල චෝදනා පත්‍රය නිකුත් කර තිබෙනවා.

මීට අදාලව කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය කරුණු දක්වා ඇතත් එයින් සෑහීමකට පත් වීමට නොහැකි නිසා රාජ්‍ය සේවා කොමිසම විසින් මේ වන විට අදාල චෝදනා පරික්ෂා කිරීම සදහා පරීක්ෂණ නිලධාරියෙකු පත්කොට ඇයට විරුද්ධව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
2019 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී සිදුවූ අක්‍රමිකතාවන් පිළිබදව චෝදනා එල්ලවී තිබෙන ඇය 2021 එනම් එළැඹෙන වසර සදහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීමේ කටයුතුවලට ඇය සම්බන්ධ වී සිටිනවා.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම මගින් චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කර විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති කොළඹ විශාකා විදුහලේ විදුහල්පතිනිය වන සඳමාලි අවිරුප්පල මහත්මිය 2021 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ කටයුතු කරන බවත්, ඇය එම විදුහලේ විදුහල්පති තනතුරෙන් තාවකාලිකව ඉවත් කර අදාළ විනය පරීක්ෂණය සිදුකරන ලෙසත් ලංකා ගුරු සංගමය 2020.06.23 දිනැති ලිපියක් මගින් රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

එම ලිපියට පිළිතුරු ලෙස ලංකා ගුරු සංගමයටද පිටපතක් සහිතව ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය අමතන ලද 2020.07.07 දිනැති ESC/GEN/01/09/2019 අංකයෙන් යුතු ලිපියක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ලේකම් විසින් යොමු කර ඇත.

එම ලිපියට අනුව විදුහල්පතිවරයෙකුට එරෙහිව ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවතී නම් තවදුරටත් ඉදිරි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල සභාපතිත්වය දැරීම කළ යුතු ද නැද්ද යන කොන්දේසිය සම්පාදනය කළ යුතු බවත්, යම් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක සභාපති ඉවත් කර වෙනත් අයෙකු ලවා සම්මුඛ පරීක්ෂණ කිරීම ප‍්‍රයෝගික ද යන්නත් සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාගේ නිර්දේශ ඉල්ලා ඇත.

ඒ අනුව අදාළ නිර්දේශ කඩිනමින් ලබා දී විශාකා විදුහලේ විදුහල්පතිනිය සම්බන්ධ පරීක්ෂණය අපක්ෂපාතීව සිදු කිරීමට අව්‍යශ්‍ය පරිසරය සකසන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම මත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවන අවස්ථාවක අදාළ විදුහල්පති එම පාසලේ රැුඳී සිටීම ආචාරධාර්මිකව මෙන්ම නීතියට අනුව ද වැරදි සහගත බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මීට ඉහත දී මෙවැනි චෝදනා එල්ල වූ විදුහල්පතිවරු පාසල්වලින් ඉවත් කර පරීක්ෂණ සිදු කළ බවට අවශ්‍ය තරම් නිදර්ශන ද අධ්‍යාපන අමාත්‍යාංශය සතුව පවතී. එම තත්වය තුළ නීතිය සැමට සාධාරණව ඉටුවන ලෙස විශාකා විදුහලේ විදුහල්පතිනිය තාවකලිකව එම පාසලෙන් ඉවත් කර ඇය සම්බන්ධයෙන් වන විනය පරීක්ෂණය ස්වාධීනව සිදු කළ යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here