Home Business ඇඟළුම්න් සේවකයන් විසිපන්දහසක් බලෙන් සේවයෙන් ඉවත් කරලා?

ඇඟළුම්න් සේවකයන් විසිපන්දහසක් බලෙන් සේවයෙන් ඉවත් කරලා?

167
0

COVID – 19හි බලපෑම හේතුවෙන් ලංකාවේ මෙන්ම ලෝකයේම ක්ෂේත්‍ර රැසක් කඩා වැටීමට ලක්විය. ඒ අතර ලෝකයටම නිමි ඇඳුම් බෙදූ ලංකාවේ ඇඟලුම් කර්මාන්තයද දැවැන්ත ලෙස කඩා වැටුණි. මෙහි කඩා වැටීම ප්‍රධාන වශයෙන් බලපානු ලැබු‍වේ ඇඟලුම්හල් සේවක සේවිකාවන්ටය.

මේ කඩා වැටීම තුළ ඔවුන්ගේ තත්ත්වය කෙලෙස විසඳේවිද? යන්න ගැටලුසහගත කරුණක් බවට පත්වී තිබේ. මේ ඒ පිළිබඳව නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මහතා සමග පැවැත් වූ සාකච්ඡාවකි.

කෝවිඩ් – 19 බලපෑම හේතුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ කඩා වැටීම පිළිබඳව ඔබේ මතය කුමක්ද?

කෝවිඩ් වසංගතය ගෝලීය ගැටලුවක්නේ. ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් අපනයනය ක්ෂේත්‍රයෙන් ලැබෙනවා. අපේ ඇඟලුම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම රඳා තිබෙන්නේ %ගෝලීය සැපයුම් දාමය^ මත. ඇත්ත වශයෙන්ම අපට ඇඟලුම් කර්මාන්තයක් නැහැ. අපිට තිබෙන්නේ ඇඟලුම් කර්මාන්තශාලා පමණයි. මේ ඇඟලුම් කර්මාන්තශාලාවලින් නිෂ්පාදනය කරන ඇඳුම්වලට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය ගෙන එන්නේ විදේශ රටවලින්. ඒ නිෂ්පාදනයන් විකුණන්නෙත් විදේශ රටවල්වලට. අපි සිදු කරන්නේ එකලස් කිරීම පමණයිනේ. අපිට කර්මාන්තයක් තිබුණා නම් සියලුම දේවල් අපිට නිෂ්පාදනය කරන්න තිබුණා. ඒ නිසා ඇඟලුම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම රඳා පැවතුණේ ගෝලීය සැපයුම් දාමය මතයි.

කෝවිඩ් වසංගතය නිසා ගෝලීය සැපයුම් දාමය සම්පූර්ණයෙන්ම දෙදරලා ගියා. උදාහරණයක් විදිහට අපේ ඇඟලුම් නිෂ්පාදනවලට අවශ්‍ය රෙදිපිළි සහ අමුද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් ගෙන්වූයේ චීනයෙන්. කෝවිඩ් – 19 රෝගය පැතිරීම ආරම්භ වන්නෙත් චීනයෙන්. ඒ සමග අපේ ඇඟලුම් ක්ෂේත්‍රයට අවශ්‍ය සැපයුම් දාමය කඩාගෙන වැටුණා. අනෙක් පැත්තෙන් අපි නිෂ්පාදනය කරන ඇඟලුම් නිෂ්පාදන අපනයනය කළ යුරෝපය, ඇමෙරිකාව වැනි රටවල වෙළෙඳ පොළත් කඩා වැටුණා. ලංකාව කෝවිඩ් – 19 රෝග ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළාට කෝවිඩ් අපිට එල්ල කළ ප්‍රහාරය ඉතාම බරපතළයි. මේ නිසා ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය විසින් ප්‍රකාශයක් නිකුත් කළා ඔවුන්ගේ අලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් කියලා. ඩොලර් බිලියන 2.5ක් කියන්නේ අනෙක් රටවල් සමග සංසන්ධනය කරද්දී බරපතළ පාඩුවක්. ගැනුම්කරුවන් ඇණවුම් අත්හිටෙව්වා. ලබා දී තිබුණු ඇණවුම්වලින් 10෴ක් පමණ අඩු කළා. එවැනි තත්ත්වයක් නිසා තමයි මේ කඩා වැටීම සිදුවන්නේ. ලංකාවේ ඇඟලුම් කම්කරුවන් ඉන්නේ ලක්ෂ පහයි. නමුත් බංගලාදේශයේ ඇඟලුම් කම්කරුවෝ මිලියන දහයක් ඉන්නවා. බංගලාදේශයේ ඇඟලුම් ක්ෂේත්‍රයට අහිමි වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 3.5යි. අපි මැහුවේ මිල අධිකම ඇඳුම්, ලෝකයේ ජනප්‍රියම මෝස්තර. ඒ නිසා තමයි අපිට එතරම් විශාල ලෙස මෙහි පාඩුව බලපෑවේ.

ඇඟලුම් ක්ෂේත්‍රය කඩා වැටීම නිසා අසරණභාවයට පත්වුණු සේවක සේවිකාවන්ගේ ඉරණම පිළිබඳව සඳහන් කළොත් ?

ඩොලර් බිලියන 2.5ක පාඩුව නිසා ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය තීරණය කරලා තිබුණා ඇඟලුම් කම්කරුවන් ලක්ෂ පහෙන් ලක්ෂ තුනක්ම සේවයෙන් ඉවත් කිරීමට. නමුත් වෘත්තීය සමිති හැටියට අපට පුළුවන්කම ලැබුණා මේකට විරුද්ධව කම්කරු අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ත්‍රෛපාර්ශ්වික කාර්ය සාධන බළකායක් පත් කරන්න කියලා යෝජනා කරලා ඒක පත්කර ගන්න. එහි ප්‍රතිඵලයක් ලෙස අපට හැකි වුණා ඒ වෙන්න ගිය හානිය යම් ප්‍රමාණයකට අඩු කරගන්න. මේ වනවිට අපට ලැබෙන දත්ත අනුව කම්කරුවන් විසිපන්දහසකට පමණ ඔවුන්ගේ රැකියා අහිමි වෙලා තිබෙනවා. ඒක සිදු කරලා තියෙන්නේ නිල වශයෙන් නොවෙයි. අපේ රටේ නීතියට අනුව කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමක් සිදු කරනවා නම් එය සිදුකළ හැක්කේ ක්‍රම දෙකකට පමණයි. එනම් සේවකයන් සිය කැමැත්තෙන් ඉල්ලලා අස්විය යුතුයි, එහෙම නැත්නම් කම්කරු කොමසාරිස්තුමන්ගේ අවසරය ලබාගනිමින් සේවයෙන් ඉවත් කළ යුතුයි.

කම්කරු කොමසාරිස්වරයාගේ අවසරය ලබාගෙන කිසිදු කම්කරුවෙක්ව සේවයෙන් ඉවත් කරලා නැහැ. කාර්ය සාධන බළකායේදී ආණ්ඩුව පැහැදිලි පොරොන්දුවක් ලබා දුන්නා කිසිදු සේවකයෙකුගේ සේවය අවසන් කරන්නට අවසරයක් නොදෙන බවට. ඒ අනුව කිසිම සේවකයෙකුගේ සේවය අවසන් කරන්නට කම්කරු කොමසාරිස්වරයාගේ අවසරය ලැබිලා නැහැ. නමුත් හාම්පුතුන් නීතියට පිටින් ගිහිල්ලා මේ වනවිට ඇඟලුම් කම්කරුවන් විසිපන්දහසක් බලෙන් සේවයෙන් ඉවත් කර තිබෙනවා. ඒක සිදු කරලා තියෙන්නේ හරි පුදුමසහගත විදිහකට. හාම්පුතුන් සේවකයන්ට ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වන ලෙස බලකිරීම් සිදු කර තිබෙනවා. යක්කල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තයක එලෙස සිදු කර තිබෙනවා. එම කර්මාන්ත සමූහයේම සේවකයන් දහසක් පමණ එලෙස සේවය අවසන් කිරීම සිදු කර තිබෙනවා. ඒ වගේම තවත් කර්මාන්තශාලා සමූහයක සේවකයන්ට 50෴ වැටුප් ගෙවන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදියි. නිට්ටඹුවේ එක් ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයන්ට අවුරුදු ගානක් ලබාදුන් ප්‍රවාහන පහසුකම අත්හිටෙව්වා. ඇඟලුම් සේවකයෙක්ට ලැබෙන වැටුපෙන් ප්‍රවාහන ගාස්තු ගෙවාගෙන රැකියාවට එන්න ගියාම ජීවත් වෙන්න බැහැ. ඒ නිසා සේවක සේවිකාවෝ නැවතුණා. ඊට පස්සේ ඔවුන්ගේ ගෙවල්වලට ලියුම් යැව්වා ‘සේවය අත්හැර ගියා’ කියලා. මේ සියල්ලම නීත්‍යනුකූල නොවන අස්කිරීම්. සමහර තැන්වල සේවකයන්ට වැටුප් ගෙවලත් නැහැ.

බලහත්කාරයෙන් සේවකයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවාද ?

අපිට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව එලෙස සේවය ඉවත් කළ කර්මාන්තශාලා හතළිස් පහක් පිළිබඳව කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කරලා තියෙනවා. ඔය වැඩපොළවල වෘත්තීය සමිති නැහැ. ඒක නිසා පැමිණිලි කරන්නත් සේවකයෝ බයයි. සමහර සේවකයන්ව අස් කරලත් ඔවුන් බයයි ඒ ගැන පැමිණිලි කරන්න. ඔවුන් අපට කියනවා ඔවුන් වෙනුවෙන් පැමිණිලි කරන්න කියලා. ඒ නිසා අපේ සංගමයත්, තවත් සංගම් හතරකුත් එකතු වෙලා කම්කරු කොමසාරිස්වරයාට ලිඛිතව පැමිණිලා කරා. නමුත් කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම ඉතා මන්දගාමී විදිහට තමයි සිදුවෙන්නේ. සමහර කම්කරු කාර්යාලවල මේ ගැන කටයුතු කරන්නේ රටේ සාමාන්‍ය ආරවුලක් පිළිබඳව කටයුතු කරන ආකාරයටයි. ඔවුන්ට මේ කෝවිඩ් – 19 විශේෂ තත්ත්වයක් නෙවෙයි. මේක නිසා සේවය අහිමි වුණු කම්කරුවන්ගේ විලාපය විශේෂත්වයක් නෙවෙයි. එම නිසා බොහොම හෙමින් තමයි ඔවුන්ගේ මැදිහත්වීම සිදුවෙලා තියෙන්නේ.

ඇඟලුම් සේවකයන් කියන්නේ අඩු වැටුපක් ලබන පිරිසක්. මේ ඉවත් කිරීම් නිසා ඔවුන් පත්වන අපහසුතාව ඉතා විශාලයි ?

මේ ඇඟලුම් කම්කරුවන්ගෙන් අතිබහුතරයක් කාන්තාවන්. මේ අය ගම්වල ඉඳලා නගරෙට ඇවිත් පෞද්ගලික නේවාසිකාගාරවල නැවතිලා තමයි වැඩකරන්නේ. ඔවුන් මේ රැකියාවෙන් තමයි තමන්ගේ පවුල නඩත්තු කරන්නේ. දෙමාපියන්ගේ බෙහෙත්වලට වියදම්, සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන වියදම් සියල්ලටම වියදම් කරේ ඇඟලුම් සේවයෙන් ලැබෙන ඉතා සොච්චම් මුදලින්. අසනීපයක් හැදුණත් අමාරුවෙන් ඇවිත් වැඩ කරනවා, කෑම පැයේදීත් වැඩ කරලා වැඩිපුර කීයක් හරි හොයාගන්න මහන්සි වෙනවා. මේ විදිහට ඔවුන් පවුල නඩත්තු කරලා ජීවත් වුණේ.

ඇඟලුම් සේවක සේවිකාවන්ට යම් සහනාධාරයන් හෝ දීමනාවන් ලබාදීමට යම් වැඩසටහනක් ක්‍රියාත්මක වනවාද?

අපේ පැත්තෙන් අපි යෝජනා දෙකක් කරලා තිබෙනවා. ආණ්ඩුව දැන් කර්මාන්තශාලා හිමියන්ට සියයට හතරක ණය සහන පැකේජයක් ලබාදීමට සූදානම් වෙනවා. අපි යෝජනා කරා ඒ ණය සහනය සේවකයන්ගේ වැටුප් ගෙවීම වෙනුවෙන් පමණක් ලබාදෙන්න කියලා. ඒ ණය දෙන්න ඕනේ හාම්පුතාගේ වෙන වෙන වැඩ කරන්න නෙවෙයි. ඒ වගේම අපි ආණ්ඩුවට යෝජනා කරලා තියෙනවා යම් ආයතනයක් පවත්වාගෙන යාමට නොහැකි නම් ඒ ආයතන රජයට පවරා ගන්නා ලෙස. අපි දැක්කා පෞද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල නිෂ්පාදනය සඳහා ලංකාවට විශාල ඇණවුමක් ලැබුණා. මේ ඇණවුම් සමහර ආයතන අරගෙන සේවකයන්ට මාසයක් විතර වැඩ දීලා, දැන් ඒ සේවකයන්ව ඉවත් කරලා තියෙනවා. සමහර ආයතන ඒ සේවකයන්ට ස්වේච්ඡා වන්දි ක්‍රම යෝජනා කරලා තියෙනවා. ඒ ආයතන ආණ්ඩුවට පවරා ගන්න පුළුවන්නේ. ඒවායේ යන්ත්‍ර සූත්‍ර තිබෙනවා, ගොඩනැගිලි තිබෙනවා, පුහුණු සේවක සේවිකාවන් ඉන්නවා. එතකොට ඒ සේවකයන් ආරක්ෂිතයි, රටටත් ආදායමක් ලැබෙනවා.

මේ තත්ත්වය යථා තත්ත්වයට පත් වන්නට කොපමණ කාලයක් යාවිද ?

මේක ඇත්තටම අපිට ලැබුණු අභියෝගයක් වගේම ලොකු අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්. අපි කල්පනා කළ යුතුයි රටක් ලෙස තවදුරටත් සම්පූර්ණයෙන්ම පිටරටට ලැබෙන සැපයුම් දාමය මතම රැඳිලා අපේ රටේ ආර්ථිකය රැඳවුම් ආර්ථිකයක් බවට පත්කරගෙන යනවාද, නැතිනම් අපි වෙනත් ආර්ථික ක්‍රමවේදවලට යනවාද කියන එක. නමුත් අපි දන්නවා ඒක අපිට එකවර කරන්න පුළුවන් දෙයක් නම් නොවෙයි. නමුත් නිසි සැලැස්මක් ආණ්ඩුවට තිබිය යුතුයි. ඒක මෙවර මැතිවරණයේදීත් සාකච්ඡාවට භාජනය කළ යුතු කරුණක්. නමුත් අනෙක් පැත්තෙන් අපි දන්නවා යුරෝපීය සහ ඇමෙරිකාව වැනි රටවල් ලොක්ඩවුන් වී තිබුණත් ඔවුන්ගේ ආර්ථික කටයුතු විවෘතව තිබෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ අප විශ්වාස කරනවා මේ වසර අවසානය වනවිට යම් ප්‍රමාණයකින් හෝ මේ තත්ත්වය සමනය වෙන්න ඉඩ තිබෙයි කියලා.

කෝවිඩ් වෛරසය පැමිණෙන්නට පෙර අපේ ඇඟලුම් ක්ෂේත්‍රයේ තිබූ විශාල අඩුපාඩුව තමයි අපිට අවශ්‍ය සේවක සංඛ්‍යාවක් නොසිටීම. 74,000ක සේවක ඇබෑර්තු තිබුණා. ඇඟලුම් කර්මාන්තයට සේවක සේවිකාවන් ආවේ නැහැ. මොකද ගෙවන වැටුප ප්‍රමාණවත් නැහැ. ඒ අය පිළිබඳව සමාජයේ තිබුණේ වැරදි ආකල්පයක්. අවශ්‍ය පහසුකම් තිබුණේ නැහැ. කර්මාන්තශාලා තුළ නරක විදිහට සලකන්නේ. ඒ වගේ තත්ත්වයක් තුළ කර්මාන්තශාලා හිමියන් රජයට යෝජනා කරලා තිබුණා පිටරටින් සේවකයන් ගෙන්වන්න. ඒක තමයි ඇත්තටම අපේ තිබුණු තත්ත්වය. ඒ ඇබෑර්තු තිබියදීම තමයි සේවකයන් විසිපන්දහසක් ඉවත් කරන්නේ. මෙහි අර්බුදය වී තිබෙන්නේ නැවත මේක යථා තත්ත්වයට පත්වුණාම සේවක සේවිකාවෝ කොහෙන්ද හොයන්නේ? ඔවුන්ගේ ශ්‍රමය සූරා කාලා, පහත් විදිහට සලකලා, ඔවුන්ට ලැබුණේ නරක අත්දැකීමක්. ආයතනය ලාභය ලබද්දී සේවකයන්ව කැඳෙව්වේ නැහැ ලාභය බෙදාගන්න. නමුත් ආයතනය පාඩු වුණාම සේවකයන්ට පයින් ගැහුවා. මේ තත්ත්වය නිසා සේවක සේවිකාවෝ නැවත සේවයට එනවාද කියලා දෙසැරයක් හිතනවා.

නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මහතා

‘අද’ පුවත්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here