Home Hit ණය පොලිය ගෙවන්න යන මුදල ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට යොදවන්න – මහේල

ණය පොලිය ගෙවන්න යන මුදල ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට යොදවන්න – මහේල

71
0

ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා කොළඹින් පිට පළාත් වලට දිය යුතු පහසුකම් තවමත් ලබා දී නොමැති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පවසයි.

ඊයේ (21) අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ හෝමාගම ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදිකිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය අවුරුදු 15 දෙස හැරී බලන විට ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකරන බොහොමයක් ක්‍රීඩකයින් පැමිණ ඇත්තේ පිට පළාත් වලින් බවද ඒ මහතා පැවසීය.

යම් කිසි හේතුවක් මත ණය මුදලක් ලබා ගෙන ක්‍රීඩා පිටියක් ඉදිකළහොත් ඒ සඳහා දීර්ඝ කාලීනව පොලියක් සහිතව ණය ගෙවිය යුතු බව පෙන්වා දුන් මහේල ජයවර්ධන මහතා පවසා සිටියේ එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් භාවිතා කල හැකි බවයි.

යුද්ධයෙන් පසු උතුරු නැඟෙනහිර පළාත්වල ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නිසි වැඩපිළවෙලක් සිදු වී නොමැති බවත් එම ප්‍රදේශ වල දක්ෂ ක්‍රීඩකයින් සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව යනු “BRAND” එකක් බවත් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බ්‍රෑන්ඩ් එක පහත වැටී ඇති බව සඳහන් කල ඒ මහතා ඒ හේතුවෙන් ලැබෙන මුදල් බොහෝ ප්‍රමාණයක් අඩු වී ඇති බවද මෙහිදී පෙන්වා දුන්නේය.

එම නිසා ඉදිරියේදී ලැබෙන ආදායම අඩු විය හැකි බවද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පවා Covid -19 වසංගතය හේතුවෙන් ප්‍රතිපාදන කප්පාදුවක් සිදු කිරීමට යන බව පවසා ඇති බව ඒ මහතා සඳහන් කළේය.

ලැබෙන මුදල් ගැන සිතමින් සැලසුම් ඉදිරිපත් කරනවාට වඩා දැනට රටේ තත්වය අනුව සැලසුම් ගොඩ නැඟිය යුතු බවට ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here