Home fact check ට්‍රම්ප්ට කොරෝනා නෑ

ට්‍රම්ප්ට කොරෝනා නෑ

78
0

COVID-19 වසංගතයට එරෙහිව ලෝකයම සටන් වදින මෙම කාලය තුල සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වෛරසය පිලිබඳ වැරදි තොරතුරු හුවමාරු වීම සුලබව දැකිය හැකියි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හට COVID-19 ආසාදනය වී ඇති බවට වැරදි තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතී.

ජනාධිපති ට්‍රම්ප් COVID-19 ආසාදිත බවත් ධවල මන්දිරය ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර ඇති බවත් කියැවෙන ෆොක්ස් නිව්ස් ප්‍රවෘත්ති ප්‍රකාශයක වීඩියෝවක් මෙසේ ශීඝ්‍ර ලෙස හුවමාරු වෙමින් පවතින බව දැක ගත හැකියි.

2020 මැයි 7 වන දින ෆොක්ස් නිවුස් විසින් ප්‍රකාශයට පත් කරන ලද මුල් ප්‍රවෘත්ති වාර්තාව පිළිබඳව ගූගල්හි මූලපද සෙවීමක් (keyword search) සිදු කිරීමෙන් අපගේ විමර්ශනය ආරම්භ කළෙමු.

එහිදී එම මුල් වීඩියෝවේ සිරස්තලයේ සඳහන් වූයේ ට්‍රම්ප්ගේ කාර්‍ය මණ්ඩලයේ අයෙක් හට COVID-19 ආසාදනය වී ඇති බවයි.

ප්‍රවෘත්ති වාර්තාවට අනුව ධවල මන්දිර වෛද්‍ය කණ්ඩායම සනාථ කළේ ජනාධිපති ට්‍රම්ප්ගේ කාර්‍ය මණ්ඩලයේ පුද්ගලයෙක් හට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඉන් පසුව ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඔවුන් හට COVID-19 ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවත්ය.

සමාජ මාධ්‍ය තුල මේ දිනවල හුවමාරු වන වීඩියෝව තුල “valet” යන වචනය ඉවත් කර ඇති බව පැහැදිලිව දැකගත හැකිය. ඔබට සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

මේ බව තහවුරු වන පුවත් වොෂිංටන් පෝස්ට්, පොලිටිකෝ සහ හින්දුස්ථාන් ටයිම්ස් වැනි පුවත්පත්වල ප්‍රවෘත්ති වාර්තා වලින්ද අපට හමුවිය.

පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ සහ ෆොක්ස් නිව්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද සැබෑ ප්‍රවෘත්තියේ තිර රෑපසටහන් (screenshots) අතර සංසන්දනය කිරීමකි.

නරඹන්නන් නොමඟ යැවීම සඳහා තාක්ෂණය යොදාගෙන ඇති ආකාරය මෙහිදී පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

නිගමනය- මෙයින් අප නිගමනය කළේ ඉහත සඳහන් වීඩියෝව ව්‍යාජ වීඩියෝවක් බවයි. එනම්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා COVID-19 ආසාදිතයෙකු බව තහවුරු වී නොමැත.

උපුටා ගැනීම – Fact Crescendo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here