Home Hit ජනාධිපති ගෝඨාභය යටතේත් FCID පරීක්ෂණ දිගටම

ජනාධිපති ගෝඨාභය යටතේත් FCID පරීක්ෂණ දිගටම

252

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ඉදිරියට පවත්වාගෙන යමින් දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී එම පෙරමුණ සඳහන් කළේ පසුගිය වසර හතරකට අධික කාලයක් තිස්සේ සිදුවූ බැඳුම්කර වංචාව ඇතුළු අනෙකුත් දූෂණ සම්බන්ධයෙන් FCID හරහා විමර්ශන සිදුකරන බවයි.

2015 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළ සිදුවූ දූෂණ වංචා විමර්ශනය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවන්ද ඒ සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බවයි එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණේ.

කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව, අධිකරණයේ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි එම පරීක්ෂණ කටයුතු සිදුකරන බවද එහිදී සඳහන් කෙරුණා.

ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති අතර කැපී පෙනුණු ප්‍රතිපත්තියක් වූ බවත්, එය ඒ අයුරින්ම ඉටුකරන බවත් ඔවුන් සඳහන් කළා.

එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හමුදා නිලධාරීන් පිළිබඳ පරීක්ෂණ ඉක්මන් කරන බවත්, ඔවුන් එම චෝදනාවලින් නිර්දෝෂී බව ඔප්පු වුවහොත් කඩිනමින් නිදහස් කරන බවයි.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන සමාජගත කළ පුද්ගලයන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි එම මාධ්‍ය හමුවේදී සඳහන් කෙරුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here