Home Hit මහ මැතිවරණය කඩිනමින් පවත්වන්න – ඕමල්පේ සෝභිත හිමි

මහ මැතිවරණය කඩිනමින් පවත්වන්න – ඕමල්පේ සෝභිත හිමි

280

මාර්තු මාසයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නැයි නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින්වහන්සේ පවසනවා.

ඇඹිලිපිටිය බෝධිරාජ විහාස්ථානයේ අද (18) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ අදහස් පළ කළා.

නව ජනාධිපතිවරයාගේ දේශපාලන ප්‍රතිපත්ති බාධාවකින් තොරව ඉදිරියට ගෙන යෑමට නම් සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත්, ඒ සඳහා රජයේ ඇමැතිවරුන් පිරිසක් සිය ධුරවලින් ඉල්ලා අස්වීම අගය කරන බවත් උන්වහන්සේ කියා සිටියා.

එසේම අග්‍රාමාත්‍යවරයාද සිය ධුරයෙන් ඉල්ලා අස්වී නව ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිය යුතු බවද උන්වහන්සේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ,

“අපි දැක්කා 2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති වූ අවස්ථාවේ එයාට කැමති අගමැතිවරයෙක් කැබිනට් එකක් පත්කරගන්න අවස්ථාව දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුන් ආදර්ශය මේ අවස්ථාවේ ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොවුනොත් දේශපාලන අර්බුදයක්, අවුලක් අපිට නැවතත් දකින්නට ලැබෙයි.
 
පසුගිය වසර හතර තුළ අගමැති ජනපති එක්ව කටයුතු නොකළ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි බරපතල ප්‍රහාරයක් සිදුවුණේ.
 
දැන් ඉතින් ලබන මාර්තු වෙනකම් තවත් බලා නොසිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනාගේ එකඟත්වය ඇතිව පාර්ලිමේන්තුව විසිරුවා හැර නව ව්‍යාවස්ථාදායක සභාවක් ඇතිකළ යුතුයි. ඒ නිසා ආත්මාර්ථකාමී නොවී පෞද්ගලික අභිමතාර්ථයන් ඉදිරියට නොදමා ලැබුණු පැහැදිලි ජනවරමට ගරුකොට ක්‍රියා කිරීම සියලුම මහජන නියෝජිතයන්ගේ වගකීමයි. 

මේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක සිංහල බෞද්ධ පරාමාධිපත්‍යයේ ස්වරූපය පැහැදිලිව ඉදිරියට ඇවිත් තියනවා. මේරට සිංහල, බෞද්ධ යන සංකල්පයෙන් බැහැර කරන්නට ඉඩ නොදෙන බව ජනතාව සහතික කරලා තියනවා. ඒනිසා නව ජනාධිපතිවරයා ප්‍රමුඛ වගකිවයුත්තන් සිංහල බෞද්ධ ආකල්පය පෙරටු කරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. සිංහල බෞද්ධ ආධිපත්‍ය තුළ තමයි අනික් සියලුම ජනවර්ගවල අයිතිය සුරැකෙන්නේ යන කාරණය සියලුම දෙනාට අද පිළිගන්න වෙලා තියනවා. ඒක තමයි ඇත්ත.
 
එක්සත් ජාතික පක්‍ෂයට තවදුරටත් සජීවීව දේශපාලනය කිරීමට අවශ්‍ය නම් සිංහල බෞද්ධ සංකල්පය අනුමෝදන් විය යුතුයැයි අපි ඉතාමත් කරුණාවෙන් සිහිපත් කරනවා. ජනතා විමුක්ති පෙරමුණටත් අනාගතයක් ඕනෑනම් මේ කියන සිංහල බෞද්ධ අයිතිය කියන යථාර්ථය තේරුම් ගන්න වෙනවාය කියන එකත් අවබෝධ කරගන්න වෙනවාය කියන එකත් සිහිපත් කරනවා.
 
මේ රජයෙ වගකිවයුතු අය සිංහල බෞද්ධයා පීඩාවට ලක්කිරීමේ විපාක අද ඒය අත්විඳිනවා. ඒ ගැන කතා කළයුතු නෑ. මේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක සිංහල බෞද්ධ අයිතිය තහවුරු වෙලා තියනවා.
 
අධිකරණයට, ජනතා පරමාධිපත්‍යයට, රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට  අසාධාරණයක් නොවෙන්න චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින යම් රණවිරුවෙක්  ඇත්නම් ඒ චෝදනා ඉක්මණින් විමර්ශනය කරලා පියවරක් ගැනීම නව ජනාධිපතිවරයා කඩිනමින් කරයි කියලා අපි විශ්වාස කරනවා” යනුවෙන්ඳ සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here