Home Hit “ඩිජිටල් ව්‍යාපාර සඳහා අවශ්‍ය භූමිය හා ප්‍රාග්ධනය ලබාදෙනවා” සජිත් කියයි

“ඩිජිටල් ව්‍යාපාර සඳහා අවශ්‍ය භූමිය හා ප්‍රාග්ධනය ලබාදෙනවා” සජිත් කියයි

304

ඩිජිටල් ව්‍යාපාර වෙත යොමුවන්නන්ට අවශ්‍ය අධ්‍යාපනය, භූමිය හා මූලික ප්‍රාග්ධනය ලබාදීමට තම පාලනය තුළ කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පොතුවිල් ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ප්‍රකාශ කළා.

ඒ සඳහා මෙරට සෑම ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයකම නවීන පන්නයේ තාක්ෂණික විශ්වවිද්‍යාල ආරම්භ කරන බවයි ඒ මහතා කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා,

“අප යොවුන් පරපුර වෙනුවෙන් ප්‍රධාන වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කරනවා. හැම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම කර්මාන්ත පුර ආරම්භ කරමින්, යොවුන් පරපුරට රැකි රක්ෂා ලබාදීමට අප කටයුතු කරනවා. ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉංග්‍රිසි භාෂා සාක්ෂරතාව ආදී විෂයන් යොවුන් පරපුර වෙත ලබාදී සමත් වන යෞවන පරපුර වෙනුවෙන් හැම ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරනවා. තාක්ෂණ විශ්වවිද්‍යාලවලින් සමත්වන යෞවන යෞවනියන්ට තොරතුරු තාක්ෂණ උද්‍යානය තුළ බිම්කොටස් ලබාදී ඩිජිටල් ව්‍යාපාර අලුතින්ම ආරම්භ කරන්න අවස්ථාව උදාකරනවා. ඔවුන්ට අවශ්‍ය භුමිය සේම මුලික ප්‍රාග්ධනයත් ලබාදෙනවා.

මේ රටේ ආහාර නිෂ්පාදනය ඉහළට ගෙන ඒමට අප බලපොරොත්තු වෙනවා. වී පමණක් නෙමෙයි, එළවළු වගාව හේන් වගාවන්
අවශ්‍ය පොහොර ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම තේ, පොල්, රබර් සුලු අපනයන බෝග අදී සියලු දේ ගැන අවධානය යොමුකර ඒ තුළ නියැලෙන පිරිසටත් ශක්තියක් ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට අප සහන ණය ලබාදෙන්න කටයුතු කරනවා. පවතින බදු ප්‍රතිපත්තිය සරල කරලා ජනතාවට බදු බර පටවන යුගය අපි අවසන් කරනවා. ත්‍රිරෝද රථ රියදුරන්ට පොළිය නොමැති ලක්ෂ තුනක ණය මුදලක් ලබාදෙන්න කටයුතු කරනවා. අපි කරන්න යන වැඩපිළිවෙළ ගැන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගතව තිබෙනවා. අපි රට ගොඩනගන්න ඉදිරිපත් කරන්නේ සංවර්ධන වැඩසටහන. ඒ තුළින් මැතිවරණ ව්‍යාපාරය අපි කරන්නේ. නමුත් ප්‍රතිවාදීන් සිංහල, දමිල, මුස්ලිම් ජනතාව අතර ගැටීම් ඇති කර කෑලිවලට බෙදා රජ පුටුවට යනවා. එවැනි නින්දිත දේශපාලනයක් මම කරන්නේ නැහැ. මම ජනාධිපති බවට පත්වෙන්නේ මේ රටේ සියලු දෙනාගේ ආශිර්වාදයෙන්. අපි රටක් ලෙසින් එකතු විය යුතුයි. රට එක්සේසත් විය යුතුයි. රට විනාශ කරන්න ආගම්වාදයට, ආගම් භේදයට ජාතිවාදයට, ජාතිභේදයට මම කිසිම ඉඩක් තබන්නේ නැහැ” යනුවෙන් ද කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here